Search This Blog

Tuesday 22 May 2018

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට ආලෝකයක් වූ නෙලුම් කුළුණ





ලිව්වේ -දෙව්නි
  
2008 අවුරුද්දේ දවසකි.  පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමට අයත් භුමියේ  හෙමි හෙමින් ඇවිද ගිය හතර දෙනෙකි . ඒ හතර දෙනානම්  විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම, නෙලුම් කුළුණ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස පසුව සේවය කළ  ධර්මසිරි ද අල්විස්, මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අංශයේ මහාචාර්යවරුන් වන නිමල් ද සිල්වා හා සමිත මානවඩු යන පිරිසයි.  

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන් කොමිසම මගින් බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදි කිරීමට තීන්දු කළ දා පටන් මේ විද්වතුන් සිව් දෙනා ඒ සඳහා කටයුතු සැලසුම් කිරීම සඳහා නිරත කරවනු ලැබීය . මුලින්ම ඔවුහු කුළුණ ඉදි කිරීම සඳහා රජයෙන් වෙන් කරනු ලැබු පෑලියගොඩ පිහිටි ඉංජිනේරු  සංස්ථාවට අයත් හෙක්ටයාර් දහයක ඉඩමේ  සෝදිසි සංචාර වල  නිරත වුහ . මෑතකදී  ව්‍යාපෘති අධ්‍යක්සෂකවරයා වශයෙන් පත්වූ  ශාන්ත ගුණනන්දන මහතාද මේ මුල් කාලීන ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට  එක්වූ විද්වතෙකි.
නෙලුම් කුළුණට එනම ලැබුනේ මෙසේ ආගිය ගමනකදීය. සංස්ථා භුමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබු නෙලුම් මලක් දුටු අපේ  විද්වත් පිරිසට යෝජිත කුළුණ නෙලුම් දණ්ඩක් හා නෙලුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අපූරු අදහස මතු වුනේය.
එයට සියල්ලන්ගේ අනුමැතිය හිමි  වූ නිසා එතැන් සිට කුළුණේ සංකල්පමය සැලසුම් සියල්ල නෙලුම් දණ්ඩක් හා එහි ඉහළ කෙලවරේ වූ නෙලුම් මලක හැඩය ගනු ලැබීය .
කුළුණ ඉදිකිරීමේ සැලසුම මෙසේ ක්‍රියාත්මක වෙද්දී ඊට දිරි ගැන්වීම් මෙන්ම බාධා පමුණුවන ආකාරයේ යම් යම් සිදු වීම්ද අත් විඳින්නට සිදු විය.  
මුලින්ම කුළුණ  ඉදි කිරීම් සඳහා යෝජිතව තිබු බිම් ප්‍රමාණය අකුළුවාගන්නට දේශපාලන තීරණ නිසා සිදු විය. ඒවකට ඉංජිනේරු  සංස්ථාව භාර දේශපාලන අධිකාරිය  විසින් , නෙළුම් කුළුණ ඉදිකිරීමට තෝරා ගත් හෙක්ටයාර් දහයක ඉඩ ප්‍රමාණයෙන් හෙක්ටයාර් හතක පමණ ඉඩක් ආකෘති ගම්මානයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය බව දන්වනු ලැබීය  .
සන්නිවේදන අවශ්‍යතාවලට අමතරව, විනෝදාත්මක, වෙළඳ හා සංචාරක ප්‍රවර්ධන  අරමුණු පෙරදැරි කරගෙන සංකල්ප සැලසුම් නිර්මාණය වෙමින් තිබු කුළුණේ මුලික අරමුණුවලට අදාළ අංගෝපාංග රාශියක් විය. එයට ඩිස්නිලන්තය ආකාරයේ තේමා උද්යානයක්ද ඇතුලත් විය. එහෙත් අවාසනාවකට මෙන් මුලින් වෙන්කළ හෙක්ටයාර් දහය හෙක්ටයාර් 2.7 දක්වා අඩු වීම හේතුවෙන් සංකල්පමය සැලසුම් සීමා කරන්නට විය.
අවසානයේ නෙළුම් කුළුණ   ඉදි කිරීම සඳහා වෙනත්  භූමියක් 2011 ජුලි මාසයේදී ලැබුනේය.එය බේරේ වැව අසබඩ වූ  හෙක්ටයාර් 3.1 ක් වූ ඉඩමකි. ඒ වර්තමානයේ නෙළුම් කුළුණ ඉදි වී ඇති බිම්කඩයි. ඊට යාබදව වූ තවත් අක්කර පහක ඉඩමක් ඉදිරි කාලයේදී මේ ව්‍යාපෘතියට පවරා ගන්නට සැලසුම් කෙරුනේ යෝජිත විනෝද උද්‍යානය ඉදිකිරීම් සඳහායි . එහෙත් මේ දක්වා එම පවරා ගැනීම ප්‍රමාද වවමින් පවතී  . කෙසේ වුවද රටක සංකේතාත්මක ඉදි කිරීමකදී ඊට වඩාත්ම සුදුසු වූ ස්ථානයක පිහිටි ඉඩකඩක්  පසුව හෝ ලැබුණු නිසා මෙහෙයුම් කණ්ඩායම යළි උනන්දුවෙන් කටයුතු කරගෙන ගියෝය . 
මෙරට වාස්තු විද්වතුන් නිර්මාණය කළ නෙලුම් කුළුණේ මුල්ම දළ සටහන

කුළුණ ස්ථානගත කිරීම
ඉතා විශාල ව්‍යාපෘතියක් වන නෙලුම් කුළුණ  ඉදිකිරීමේ කර්තව්‍යයේදී අප නොසිතන ක්ෂේත්‍ර බොහෝ ප්‍රමාණයක් තුල කරුණු විමසා බලා තිබේ . සංකේතාත්මක කුළුණක් ලෙස යොදා ගැනෙන මෙය කොළඹ අවට විවධ ස්ථාන වලට දිස්වන ආකාරය පිලිබඳ සලකා බැලීම බෙහෙවින් වැදගත් වූවකි. මෙසේ සලකා බලන ලද ස්ථාන වලට දිස්වන හොඳම ආකාරයට මෙහි ස්ථානගත කිරීම සීරුමාරු කර තිබේ . විශේෂයෙන්ම කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට නෙලුම් කුලුන දිස්වන ආකාරය ගැන එහි සැලැස්ම සමග සසඳමින් සලකා බලනු ලැබුයේ GPS තාක්ෂණයද උපයෝගී කරමිනි. කුළුණ සැලසුම් කරන අවදියේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදි වී නොතිබුනු අතර ඒ සඳහා වූ සැලසුම් උපයෝගී කරගෙන මේ ස්ථානගත  කිරීම සිදු කර ඇත.


සැලසුම් හා ඉදිකිරීම් සමාගම්

නෙලුම් කුළුණ ඉදිකිරීම සඳහා මුලික ඇස්තමේන්තුවක් සකස් කෙරුනේ සංකල්පමය සැලසුම් පදනම් කරගෙනය . එය මුලින් අමෙරිකානු ඩොලර් මිලියන සීයකි. පසුව එය මද වශයෙන් සංශෝදනය වුනේ ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය හතරක් ලෙසය. ඉදිකිරීම් සැලසුම් කළ මුල් කාලයේ එය ලංකාවේ මුදලින්නම් රුපියල් බිලියන 12 කි .
සැලසුම් කළ පරිදි මීටර් 356.3 ( අඩි 1,167) ක් උසට බහු අරමුණු සහිත කුළුණ ඉදි කිරීමට නම් ඒ සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික විද්වතුන් සිටීද , ආයතන වෙත්ද යන්න සොයා බලන්නට සිදු විය.  මහාචාර්ය මානවඩුට අනුව වාස්තුවිද්‍යාත්මක නිර්මාණ කරණයේදී ඒ සඳහා ගැටළුවක් නොවූ මුත් මීටර් දෙසීයට වඩා උස වූ ගොඩනැගිල්ලක් හෝ කුළුණක් එතෙක්  මෙරට ඉදි වී තිබුනේ නැත  . මෙවන් ඉදිකිරීමකදී අවශ්‍ය  සැලසුම් කිරීම, ඉදි කිරීම, යන්ත්‍රෝපකරණ  හා  ආරක්ෂක විධික්‍රම  ආදී නොයෙකුත් තාක්‍ෂණ කරුණු සලකා බැලීමේදී පෙර පළපුරුද්දක් නොමැතිවිට  එම තාක්ෂණය පිටතින් ලබා ගැනීම  පිළිගත් සම්ප්‍රදායයි.  ඒ අනුව ශ්‍රී ලාංකික විද්වතුන්ගේ සංකල්පමය සැලසුම් පදනම් කරගෙන කුළුණේ සවිස්තර සැලසුම හා ඉදිකිරීම් කටයුතු කිරීමට විදේශීය  සහය ලබා ගැනීමට  නිර්දේශ කෙරිණි . සැලසුම් කටයුතු වලට සුදුසු ආයතනයක් මුලින්ම සොයා ගත යුතු විය.

ඒ අනුව මුලින්ම නම් සඳහන් කළ විද්වතුන් සතර දෙනාට බාර කෙරුණේ මේ සැලසුම සවිස්තරව  නිම කිරීමට සුදුසු අන්තර්ජාතික සමාගමක් පිලිබඳ සොයා බලන ලෙසටයි. මේ අරමුණින් ලෝකයේ රටවල් කීපයක සමාගම් ගැන සොයා බැලීමෙන් පසු අපේ විද්වතුන් පිරිසට තේරුම් ගියේ මෑත කාලීනව නෙලුම් කුළුණ මෙන් උසැති කුළුණු ඉදිකිරීමේ අත්දැකීම් සහිත  අපිට සරිලන තාක්ෂණයක් සහිත රට චීනය බවයි. ඒ නිසා පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා භූමියේ නිරීක්ෂණ චාරිකාවකට මුලින්ම එක් වූ විද්වතුන් සිව් දෙනාම චීනයේ සුදුසු සැලසුම් සමාගමක් සොයා ගමන් ඇරඹීය. මේ සඳහා ඔව්හු කල් ඇතිවම  චීනයේ ශ්‍රී ලංකා  තානාපතිවරයා වෙත තමන් විසින් පිළියෙළ  කළ සංකල්පමය සැලසුම් කිහිපය යවා නෙලුම් කුළුණේ සවිස්තර සැලසුම් කටයුතු කර ගැනීම සඳහා සුදුසු ආයතන පිලිබඳ සොයා බාලන ලෙස ඉල්ලා සිටියහ .
අපේ විද්වත් පිරිස මේ ගමනේදී ආයතන දෙකක් වෙත යොමු කෙරුණ අතර BIAD හෙවත්  Beijing Institute of Architectural Design මින් පළමු වැනි ආයතය විය . විශේෂ කරුණ  වන්නේ මෙරට සංකේතමය  ගොඩනැගිල්ලක් වන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  ශාලාවද මොවුන්ගේ නිර්මානයක් වීමයි . කෙසේ වෙතත් ඔවුන් සැලසුම් සඳහා පමණක් ඉදිරිපත් කල මිල ගණන් ශ්‍රී ලංකාවට අවාසි සහගත වුනු නිසා   අපේ විද්වත් පිරිස දෙවන ආයතනයේ නියෝජිතයන් හමු වුහ. ECADI (Eastern China Architectural Design Institute) නම් වූ දෙවන ආයතනයද මිල කොන්දේසි මුල් ආයතනයේ මෙන්ම ඉහල ප්‍රතිශතයක් ගත්තේය.
අවසානයේ චීනය බලා ගිය විද්වතුන්ගේ නිර්දේශය වුයේ කොහොමත් ඉදිකිරීම විදෙස් සමාගමකට පැවරිය යුතුව ඇති නිසා එම කොන්ත්‍රාත්තුව සැලසුම් හා ඉදිකිරීම( Design & Build) යන ඒකාබද්ද කටයුත්තක් ලෙස  එකම ආයතනයකට පැවරීමෙන් සැලසුම සඳහා පමණක්   වෙනම විශාල මුදලක් ගෙවීමෙන් සිදු විය හැකි අවාසිය  අඩු කර ගත හැකි බවයි. ඒ අනුව පිළිගත්  ටෙන්ඩර් පටිපාට්‍යකින් පසුව CEIEC ( China Electronic Import and Export Corporation) සමාගමට නෙලුම් කුළුණේ සැලසුම හා ඉදිකිරීම යන ඒකාබද්ද කාර්යයම පැවරිණි.
මුදල් ආයෝජනය

මෙම ඉදිකිරීමට අවශ්‍ය ආයෝජනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දරන්නට සුදානම්ව සිටියේ ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් කොටසක් මේ සඳහා සෑහෙන නිසාය.  එහෙත් ඉදිකිරීම් සඳහා විදේශීය සමාගමක් තෝරා ගැනීමෙන් පසු එම ආයෝජනය විදේශ රටකට ගෙවිය යුතු විය. මේ කටයුත්තේදී මුදල් අමාත්‍යංශයේ උපදෙස වුයේ මෙරට මුදල් කෙලින්ම පිටරට යවනවාට වඩා හොඳම  විකල්පය කුළුණ ඉදිකිරීමට විදේශීය ණය මුදලක්  ලබාගෙන එය වාරික වශයෙන් ගෙවීම බවයි. ඒ අනුව චීනයේ එක්සිම් බැංකුවෙන් මේ ඉදි කිරීම සඳහා ණය මුදලක් ලබා ගැනිණි .

තාක්ෂණ හුවමාරුව

නෙලුම් කුළුණේ සැලසුම හා ඉදිකිරීමට සමගාමීව සැලකිය යුතු තාක්ෂණ දැනුමක් ශ්‍රී ලංකාවට අළුතින් එකතු වුනේය. කොටින්ම මීටර් දෙසීයට වඩා උස කිසිම ඉදි කිරීමක් සඳහා පළපුරුද්ද හෝ දැනුම නොතිබුණු ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයට දැන් මීටර් 356ක් දක්වා උස ඉදිකිරීමක් කිරීමේ සුදුසුකම හා තාක්ෂණික හැකියාව ලැබී ඇත. මේ තාක්ෂනය උකහා ගැනීම ක්‍රමානුකුලව සිද්ද වුනේ නෙලුම් කුළුණ  ඉදි කිරීමේ කාර්යයේ මුල සිටම බලවත් විද්වත් නියෝජනයක් ශ්‍රී ලංකාවට හිමි වූ  නිසාය.  ඒ සඳහා දැක්මක් තිබිණි. කුළුණේ මුලික සංකල්පමය සැලසුම්  නිමවූ ශ්‍රී ලාංකික විද්වතුන් පිරිස මේ වැඩ පිළිවෙලේ දිගටම රැඳෙමින් සිටියහ. සැලසුම් හා ඉදිකිරීම් විදේශීය  සමාගමකට පැවරුවත් සියලු  කාර්යයන් යලි අධීක්ෂණය කර අනුමැතිය ලබා දීමට ශ්‍රී ලාංකික උපදේශකයන් කණ්ඩායමක් යෙදවීමට තරම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කල්පනාකාරී විය.
මේ කාර්යයේ ශ්‍රී ලාංකික විද්වතුන් 70ක් පමණ පිරිසක් නිරත වී සිටින අතර ඔවුන් සම්බන්ධීකරණය කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා මහාචාර්ය සමිත මානවඩු විසිනි .
ඉදිකිරීම්වලට අදාළ සියලුම සැලසුම් හා, වැඩ සටහන්, තාක්ෂණ විධික්‍රම , අමුද්‍රව්‍ය මෙන්ම ඉදිකිරීම් ක්‍රමවේද වලට පවා  මෙකී උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතුය. මේ සඳහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ අදාළ ක්ෂේත්‍රවල පිළිගත් ඉංජිනේරුවන් හා විද්වතුන් කණ්ඩායමකි .
 මේ විශේෂ දැනුම් ක්ෂේත්‍ර වලට භූ ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉන්ජිනේරු  විද්‍යාව, කොන්ක්රීට් තාක්ෂනය,  උස ගොඩනැගිලිවල කම්පන අධ්‍යයනය  හා  විදුලි ඉංජිනේරු විද්‍යාව යනාදී සියලු ක්ෂේත්‍රවල නිපුනතා සහිත විද්වතුන් යෙදවනු ලැබූ අතර ඉදිකිරීම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රවීණ   ව්‍යාපෘති කළමනාකරුවන් හා  නේවාසික ඉංජිනේරුවන් යොදවනු ලැබීය.
එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාලවල උගෙනුම ලබන ඉන්ජිනේරු  සිසු සිසුවියන් විශාල පිරිසකට මේ කුළුණේ සැලසුම් හා ඉදිකිරීම් වලට දායක වී අගනා ක්ෂේත්‍ර පුහුණුවක්  ලබා ගැනීමට අවස්තාව සැලසිනි.
ඒ අනුව නෙලුම් පොකුණ ඉදිකිරීම් යනු මෑත කාලීන ඉදිකිරීම් අතරින්  ලංකාවට නව තාක්ෂණ දැනුම ගලා ආ ඉතා වැදගත් මහා පරිමාන ඉදි කිරීමකි. 

ඉදිකිරීමේදී ලද සුවිශේෂී අත්දැකීම්
2012 වසරේ ජුලි මස ඉදිකිරීම් ඇරඹු නෙලුම් කුළුණ අත්තිවාරම දැමීමේදී සිට අවසාන ඇන්ටෙනා කුළුණ ඉහළට ගැනීම ඉදිරියේදී ඇති නිමා කිරීමේ කාර්යයන් දක්වාත් අවසාන කුළුණු ආධාරක දොඹකරය ගලවා දමනතුරු සුවිශේසී අත්දැකීම් රැසක් ගෙන දෙනු ඇත .. මීට සම්බන්ධ වූ ඉදිකිරීම්  කණ්ඩායමට මේ හා සම්බන්ධ අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදු වී ඇත .
ඉන් පළමුවැන්න භූ ජලය හා ඔට්ටු වීමයි.  භූ ජල මට්ටම ඉතා නොගැඹුරු බේරේ වැව ආශ්‍රිත ඉඩමේ මීටර් පහළොවක්  ගැඹුරැති මීටර් හතලිස් පහක් විෂ්කම්බය සහිත කුළුණු පාදම හැරීමේදී හා එතුළ කොන්ක්‍රීට් ඉදිකිරීම අවසන් වන තුරු අරීය දිශාවලින්  හා පොලොව ඇතුලෙන් මතු වෙන සිය දහස් ගණනක් වූ දිය සීරාවන් මැඩගෙන එම කලාපය නිර්ජලනය කිරීම ඉතාමත් දුෂ්කර විය. මේ සඳහා කුටීර සීමාවේ එක ලඟින් ගිල්වන ලද කොන්ක්‍රීට් කුළුණු මෙන්ම ඇතුලත වූ ජලය ඉවතට පොම්ප කිරීමේ විවිධ උපක්‍රමද භාවිතයට ගන්නට  සිදු විය.
 මීළඟට මහුණ දුන් අභියෝගාත්මක කාර්යය වුයේ පාදම කොන්ක්‍රීට් කිරීමයි. කොන්ක්‍රීට් ඝන මීටර් හාරදහස් පන්සීයක්   දිනක් ඇතුළත ඇතිරීමත් මේ කාර්යයේදී කොන්ක්‍රීට් ස්තර අතර නිසියාකාර උෂ්ණත්ව  පාලනයක් පවත්වා ගැනීම මගින් තාප පැලුම් වලක්වා ගැනීමත් සුළුපටු කාර්යයක් නොවිය. 2013 අවුරුද්දේ අගෝස්තු මාසයේ කරන ලද මේ කාර්යයට කොළඹ අවට වූ සියලුම කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතන හවුල් කර ගත්තේ නොඑසේනම් ඒසා විශාල කොන්ක්‍රීට් ප්‍රමාණයක් එක දිනක් තුල නිපදවීමට සමත් යන්ත්‍රෝපකරණ තනි  ඉදිකිරීම් සමාගමක නොතිබූ බැවිනි.  මේ සඳහා  එකම සිමෙන්ති වර්ගයක් යොදා ගැනීම , තත්ත්ව පාලනය කරන ලද අනෙකුත් අමුද්‍රව්‍ය, නියමිත පරිදි මුලින් එකඟ කරව ගත් මිශ්‍රණ සංයුතිය හා සැපයුම කළමනාකරණය යනාදිය ඉතා හොඳ මට්ටමෙන් කළමනාකරණය කරගැනීමට ලැබීම මහත් ජයග්‍රහණයක්ම විය. 2013 අගෝස්තු මස 8,9 දින දෙක තුල කොළඹ අවට ඉදිකිරීම් සමාගම් වලට වෙනත් රාජකාරි වලින් නිදහස් වන ලෙස දැනුම් දුන් අතර කුලුනේ පාදම සඳහා යොදාගැනීමට අවශ්‍ය සිමෙන්ති වර්ගය සහ එම මිශ්‍රණය පිලිබඳ තොරතුරු අදාළ සමාගම් වලට කල් ඇතිව දැනුම් දෙන ලදී . ඉදිකිරීම් කණ්ඩායමේ සාමාජිකයින් ඉහත සමාගම් වලට ගොස් සියලු මිශ්‍රණ එකම වර්ගයේ සහ තත්වයේ පවතින බව තහවුරු කරගැනීමට කටයුතු කරන ලද අතර  මෙසේ රැගෙන ආ මිශ්‍රණ භාවිත කොට පැය 28ක් තුළ දෙක තුල පාදම ඇතිරීමේ කටයුත්ත සාර්ථකව නිමකිරීමට හැකියාව ලැබිණ. මේ සඳහා කොන්ක්‍රීට් ට්‍රක් රථ 800ක් පමණ යොදා ගැනුණු අතර කොන්ක්‍රීට් ඝනමීටර 4500 ක් අතුරනු ලැබිණ.

 ඊළඟ අභියෝගාත්මක කරුණ වුයේ ටොන් එකසිය අසුවක් බරැති ඇන්ටෙනා කුඹ ගස ඉහළට එසවීමය. කුළුණේ කොන්ක්‍රීට් ඉදිකිරීම අවසන් වීමෙන් පසු ඒ කුළුණේ මැද කුටීරය ඔස්සේ කොටස් එකොළහක් වශයෙන් මේ ඇන්ටෙනා  කුඹය එසවීම සිදුකෙරිණි. ඒ සඳහා සුවිශේෂ එසවීමේ උපක්‍රම අත්හදා බලන්නට සිදු විය.  මේ සඳහා කොන්ක්‍රීට් තට්ටුවල මීටර් තුනේ තුනේ හතරැස් කවුළු සාදන්නට විය. මේ සඳහා විශේෂයෙන් ගෙන්වූ එසවූම් උපකරණයක් ඉහළම මාලයේ රඳවන ලදී .

ඇන්ටෙනා කුළුණේ පිටස්තර ආවරණය වන මිලිමීටර් 35ක් ඝනකම සහිත  ලෝහමය ආවරණය චීනයෙන් ලැබුණු මුල් සැලසුම් වල දක්වා තිබුනේ මිලිමීටර් 30ක් වශයෙනි .
එහෙත් මෙරට උපදේශක කණ්ඩායම විසින් කරන ලද සැලසුම් විශ්ලේෂනයකදී  මෙය මිලිමීටර් 35ක් ඝනකමින් යුක්ත  විය යුතු බව සොයා ගත්තෝය. ඊළඟට මේ ආකාරයේ ඇන්ටෙනා කුඹගස් ගැන ප්‍රගුණ කල ඕස්ට්‍රේලියානු විද්වතෙක් ලවා කරන ලද දෙවන විමර්ශනයෙදේ නිර්දේශ කෙරුණේද  මේ ආස්තරයේ ඝනකම මිලිමීටර් 35ක් විය යුතු බවය.
මේ නිර්දේශ දෙකම චීන සැලසුම් හා ඉදිකිරීම් සමාගමට දන්වා යැවූ පසු ඔවුන් වැඩි ඝනකම සහිත  ආස්තරයක් ලබා දුන්නේ ඔවුන්ගේ මුල් සැලසුමේ වූ අඩුපාඩුව පිලි ගනිමිනි.
ඇන්ටෙනා කුඹ ගසේ සැලසුම නිසාද  නෙලුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු මාස කිහිපයකින්ම ප්‍රමාද කරන්නට සිදු විනි. ඇන්ටෙනා කුළුණේ රඳවන ඇන්ටෙනා වර්ගය හා ඒවා රඳවන ස්ථාන තීරණය වනුයේ යොදා ගනු ලබන ඩිජිටල් තාක්ෂනය අනුවය. මේ පිලිබඳ රජයේ අවසන් ප්‍රතිපත්තිමය තීරණය ලැබෙනතුරු ඇන්ටෙනා කුඹය සිදුරු විද ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද විය.
මේ සියලු අභියෝග මැදින් නෙලුම් කුළුණේ වැඩකටයුතු නිම වෙමින් පවතී. මේ තුලින් අප ලද ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ අත්දැකීම් සුවිශාල වන අතර එම දැනුම තවත් කාලාන්තරයක් තිස්සේ අපට වාසි සහගතව යොදා ගත හැකි වනු ඇත.


ඉදිකිරීම් සඳහා ශක්‍යතා අධ්‍යයනය හා අනුමැතිය හා අනෙකුත් රෙගුලාසි

අප දිවයිනේ ඕනෑම ඉදි කිරීමක් කරන්නට ප්‍රථමයෙන් ලබා ගත යුතු  අනුමැති හා අනුගමනය කල යුතු රෙගුලාසි රාශියක් වෙයි. ඒවා වෙන වෙනම නියාමනය කිරීමට ව්‍යවස්ථාපිත ආයතන තිබේ. දකුණු ආසියාවේ උසම කුළුණ වන මීටර් 356ක් උසැති නෙලුම් කුළුණ ඉදිකිරීමේදී මෙවැනි අනුමැතීන් ලබා ගත් අන්දම අප මහාචාර්ය සමිත මානවඩු මහතාගෙන් විමසිමු .

ඔහුට අනුව නිසි අධ්‍යයනවලින් පසු සියලු අනුමැතීන් මේ ඉදිකිරීම සඳහා ලබාගෙන ඇත. පාරිසරික බලපෑම් , පුරා විද්‍යා සම්පත්වලට  ඇති බලපෑම් අනුමැතිය, තාක්ෂණ  බලපෑම් අද්යයනය ඒ අතර වෙයි. ඊට අමතරව නෙලුම් කුළුණ ඉදිවීම්න් පසු වැඩිවන රථවාහන තදබදයේ බලපෑම් පිළිබඳවත් අද්යයනය කර ඇත.
මෙවන් කුළුණු ඉදි කිරීමෙදේ ශ්‍රී ලංකාවේ ඊට පෙර අත්දැකීම් හෝ  රෙගුලාසි සීමාසහිත වූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේෂිත භුමි ප්‍රමාණයේ හා ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණ අනුපාතය නියමිත සීමාවන් අතරේ තිබිණි .

මොරටුව විශ්ව විද්‍යාලයේ වස්තු විද්‍යා අංශයේ මහාචාර්ය සමිත මානවඩු සමග කළ සාකච්චාවක් ඇසුරෙණි .

(මෙම ලිපිය මුලින්ම පළවුයේ විදුසර විද්‍යා සන්ගරාවේය )

12 comments:

  1. සෑහෙන්න වැදගත් තොරතුරු ටිකක්. බොහොම ස්තුතියි. තව පින්තුරත් එකක් දෙකක් වත් තිබුනානම් හොඳයි කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!! මගේ බ්ලොග් පෝස්ට් එකකට පළමු කොමෙන්ට් එක එකතු කලේ ඔබයි . ෆොටෝ ටිකක් තව එකතු කරන්නම්

      Delete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_887.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි !! මෆේ බ්ලොග් නමේ අකුරක් වෙනස් කරා . ඉස්සර තිබ්බේ siliconewella දැන් siliconwella.

      Delete
  3. කනින් කොනින් අහලා තිබුනු බොරු මිත්‍යා කතා ගොඩක් බොරු කියලා දැනගත්තා...

    පාදම මීටර් 15ක් විතරද ගැඹුර? ඒ ඇති ද එච්චර උස් කුළුණකට ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මේ පාදම ඉදිවන්නේ එක ළඟින් බැස්සවූ භූගත piles රාශියක් උඩ. ඒවා පිහිටි ගල් ස්තරය ඉක්මවා යනවා

      Delete
  4. සිලිකන් වැල්ලට තාත්ටයි, දූටයි සුබ පැතුම්... තාම කියෙව්වෙ නැහැ හොඳේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි !! ඔබේ මුහුණු පොත් සටහනත් දැක්කා .

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි !!

      Delete