Search This Blog

Monday 21 May 2018

මාලිගාවිල බුදු පිළිමය හා ඉංජිනේරු සංස්ථාව

මාලිගාවිල බුදු පිළිමය -www.picture.lk

මා වරක් ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී දුටු ලා රෝස පහැති කුඩා, සිලින්ඩරාකාර කිරිගරුඬ කැබැල්ල මාලිගාවිල බුදු පිළිමයේ කොටසක්  බව දැන ගත් විට මගේ මතකය පාසැල් කාලයට දිව ගියේය .

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් මාලිගාවිල පිහිටි බුදු පිළිමය මැත ඉතිහාසයේ සොයාගනු ලබන්නේ 1951දී කැබලි කිහිපයකට කැඩී  පොළවේ වැතිරී තිබෙදදීය. හත්වන සියවසේදී ඉදි කරන ලද මේ බුදු පිළිමයට  නිදන් හොරුන් අතින්ද හානි සිදු වී තිබිණි. 
මේ පිළිමය කෙළින් හිටුවීමට ගත් උත්සාහයක්  පිලිබඳ අපේ ඉස්කෝලේ ගුරුතුමෙක් ඉතා රසවත්ව විස්තර කළා මට මතකය. මේ වැඩේ තමන්ට කරන්නට පුළුවන් බව කී වඩු කාර්මිකයෙක් ගැනද ඒ කාලේ කතා බහ කෙරුනා මතකය. කොටින්ම පිළිමය කෙලින් සිටුවීම අභියෝගාත්මක කාරියක් වුයේ එය තනි කිරි ගරුඬ ගලකින් නිමවා තිබීමත් යලි සොයා ගන්නා විට කැබලි  කීපයකටම වෙන් වී තිබීමත් නිසාය. 
 1991 දී  මේ කාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරුනේ එවකට  රාජ්‍ය නායකයගේම මැදහත් වීමෙනි. අපේ ඉංජිනේරු සංස්ථාව විසින් නිම කරන ලද සුවිශේෂ කාරියන් අතරට මාලිගාවිල පිළිමය කෙලින් සිටුවෙමද අයත්ය. පිළිමයේ වෙන්වූ කැබලි සිදුරු කර සුදු යකඩ දඬු බස්සවා කොටස් වශයෙන්ම දොඹකර යොදා නැගිටුවා ගත් මාලිගාවිල බුදු පිළිමය අද වන විට ලංකාවේ උසම තනිව නැගී සිටින බුද්ධ ප්‍රතිමාව වෙයි. එය උසින් අඩි 38කි.
මේ කාරියේ ප්‍රමුඛ වැඩ කොටසක් කළ ප්‍රවීණ ඉංජිනේරුවරයෙක් වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා යටතේ කලක් සේවය කරන්නට ලැබීම මගේ වාසනාවක් කොට සලකමි.

මා ඔහුගේ කාර්යාලයේදී  දුටු පරිගණක ආශ්‍රිත ඇඳීම් (CAD ) අතර පොලොන්නරුව ගල් විහාරයට සෙවන සපයමින් ඉදිකළ පියස්සද, මිරිසවැටිය දාගැබේ බැඳ වටා ඉදිකළ කොන්ක්‍රීට් වළල්ල පමණක් නොව දළදා මාලිගාවේ රන් පියස්සද ත්‍රිමාණ  රු  සටහන් ලෙස තිබුනේය. ඒ මෙරට මෙකී පරිගණක තාක්ෂනය ඉතා ළදරු අවස්ථාවේ පවතී කාලයකි. ඒත් අනාගත තාක්ෂණයන් කල් ඇතිව ග්‍රහණය කරගෙන මෙරට ඉංජිනේරු  කාරියන් කිරීමේ හැකියාව ඉංජිනේරු සංස්ථාවට තිබිණි. නිරන්තරයෙන්  එල්ල වූ දේශපාලන අත පෙවීම් නිසා ඉංජිනේරු සංස්ථාවේ ගමන අඩාල  නොවුනානම් අද වන විට ත්‍රිමාන ඉංජිනේරු නිර්මාණ හා දත්ත තබා ගැනීම, වැඩ සැලසුම ආදිය සඳහා යොදා ගන්නා ගොඩනැගිලි තොරතුරු ආකෘතිකරණය  (Building  Information Modelling ) ආදී තාක්ෂනයන් රටට හඳුන්වා දෙන පුරෝගාමී මෙහෙවරක් ඉංජිනේරු සංස්ථාවට කරන්නට හැකියාවක්  තිබිණි.

ඉංජිනේරු ගැමුණු සිල්වා සමග වරක් පෑලියගොඩ පොහොර කම්හලක් බැලීමට  ගිය ගමනක්ද මට සිහිපත් වෙයි, එතෙක් යාන්ත්‍රික හා මිනිස් ශ්‍රමයෙන් පොහොර මිශ්‍ර කිරීම හා ඇසිරීම කළ මේ කම්හලට මුළුමනින්ම  ස්වයංක්‍රීය නිෂ්පාදන  පද්ධතියක් සවි කිරීම සඳහා හැකියාව සොයා බැලීම ගමනේ අරමුණ විය. හොඳින් මදින ලද අලුත් කමිස ඇඳ ගත්  මාත් මගේ සරසවි මිතුරෙකුත් ගැමුණු සිල්වාත්  මේ ගමනට එකතු වු පිරිසයි .

කමිසය කිලිටි නොකරගත යුතු නිසා පරිස්සමින් යන්ත්‍ර සුත්‍රවල නොගෑවී එහෙ මෙහෙ ගිය තරුණ ඉංජිනේරුවන් දෙදෙනාට තමන් සමග පැමිණි ජේෂ්ට ඉංජිනේරුවා අතුරුදන් වී ඇති බව පෙනිණි . හැම තැනම  සොයා බැලු විට අප දුටුවේ ඉතා ඉහළ අට්ටාලයකට නැගී යකඩ වැටක එල්ලී පොහොර මිශ්‍රණ යන්ත්‍රයේ ඇතුළත නිරීක්ෂණය කරන  ඉංජිනේරු ගැමුණු සිල්වාය.


සන්නිවේදන තොරතුරු තාක්ෂණය හා රජයේ ප්‍රතිපත්තිය 

මෙරට රාජ්‍ය අංශයේ සන්නිවේදන තොරතුරු තාක්ෂනය කලක් ඉතා සීග්‍රයෙන් ඉදිරියට ගියේ සන්නිවේදන තොරතුරු තාක්ෂණ නියෝජිතායතායේ මැදිහත් වීමෙනි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය www .gic .gov .lk  ජාත්‍යන්තර සම්මානයට පත්‍ර වූ මේ ආකාරයේ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය සැලසුම් කරන අවධියේ  මුලික සාකච්ඡා වලට දේශීය උපදේශක සමාගමක් වෙනුවෙන් මමද වරක් හෝ දෙවරක් සහබාගි වුනෙමි.මේ අංශයේ සේවය කරන මගේ මිතුරෙක් පසුගියදා මා සමග පැවසුයේ දුරදර්ශී රජයක් විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නගා සිටුවීමටනම් කලයුතු කාර්යයන් දෙකක් තිබෙන බවයි. පළමු වැන්න රාජ්‍ය තොරතුරු කේද්‍රය වැනි නිර්මාණ නොකඩවා  යාවත්කාලීන කිරීම හා  ඒ පිලිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමය. දෙවැන්න  තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැලී මෙරට  කුඩා සමාගම් රැක  ගැනීමය. 


හයිබ්‍රිඩ් හා හයිඩ්‍රජන් කෝෂ 


මීට දශක දෙකකට  පමණ පෙර මෙරට ජාතික පුවත්පත්වල අපුරු සිරස්තලයක් පළ විය. ' රථවාහන පෙට්‍රල්  වියදම   සියයට හතළිහකින්  අඩු කරන විප්ලවීය සොයා ගැනීමක් ශ්‍රී ලංකාවෙන් '

ආචාර්ය ඒ එන් එස්  කුලසිංහයන්ගේ උපදේශකත්වය යටතේ නර්ඩ් ආයතනය විසින් කරන ලද පර්යේෂණයක් සාර්ථක වීම නිසා මේ සතුටුදායක ආරංචිය ජාතියට දන්වන්නට ලැබුණු බව මේ පුවත් පත් විසින් වාර්තා කර තිබිණි. එකී පුවත  ඇත්තක් වූවානම් එය ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථික විපර්යාස සිදු විය හැකි විප්ලවීය  සොයා ගැනීමකි. අවාසනාවකට මේ පළමු රැල්ලේ ප්‍රසිද්දියත්  සමගම මේ ගැන කතා බහ තුනී වී ගිය අතර සමහර විද්වත්තු  එම   සොයා ගැනීම  හා පුවත්පත්වල පල වූ වාර්තා පිලිබඳ දැඩි විවේචන එල්ල  කළහ.

පුවත නිකුත් වී නොබෝ දිනකින් මේ ගැන අදහස් දැක්වූ මෝටර් යාන්ත්‍රික  ඉංජිනේරුවෙක් හා සරසවි කතිකාචාර්යවරයෙක් කියා සිටියේ එන්ජින් කුටීරයෙදී දහනයට එක්වන පෙට්‍රල් වාස්පය පළමුවෙන් චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යැවීමෙන් එම මිශ්‍රණයේ යම් රසායනික ව්‍යුහ  වෙනසක් කළ හකි බවත් ඉන් ඇතැම් විට කාර්යක්ෂමතාව ඉහල නංවා ඉන්ධන වියදම අඩු කර ගත හැකි බවත්ය. ඒත් අපේ පර්යේෂණ තිබෙන්නේ තාමත් ප්‍රථමික මට්ටමේ බවත් මෙවන් පර්යේෂණයක් සාර්ථක වූ බව කියන්නට කලින් තව බොහෝ  පරීක්ෂණ හා නිරීක්ෂණ කරන්නට තිබෙන බවත් ඔහු පැවසීය.  ඔහුගේ දෙසුම මගේ  සිත් ගත්තේ ඔහු කියූ තවත් කතාවක් නිසාය . එනම් ඉදිරියට බිහිවන වාහන වල ප්‍රධානම ලක්ෂණ දෙක වනු ඇත්තේ අඩු ඉන්ධන වියදම හා වැඩි ඉලෙක්ට්‍රොනික සංවේදීතාවය යන්නයි. ඒ අනුව එම දේශකයා දුටු අනාගත මෝටර් යාන්ත්‍රික ඉන්ජිනේරුවා  අනිවාර්යයන්ම ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්ද විය යුතු බවය . මේ හයිබ්‍රිඩ් ඉංජිනේරුවන්ගේ වුවමනාව අද වන විට තද්න්ම දැනෙන්නට පටන්ගෙන ඇත්තේ දැන් බිහි වෙම්න් පවතින හයිබ්‍රිඩ් හා හයිඩ්‍රජන් කෝෂ සහිත වාහන නිසාය 

මේ වාහන දෙවර්ගයේම  පමණක් නොව මුළුමනින්ම ඉලෙක්ට්‍රික් කාර් වලද ඇති පොදු ලක්ෂනයක්නම් රසායන ශක්තිය විදුත් ශක්තිය බවට හරවන කෝෂවලින්  මේවා සමන්විත වීමයි. අප දන්නා සාමාන්‍ය බැටරි හෙවත් කෝෂ වල ඇති රසායන ද්‍රව්‍ය ක්ෂය වෙමින්  යද්දී සරල විද්‍යුත් ධාරාවක් උපදවා ගත හැක. අවසානයේ එම බැටරිය භාවිතයෙන් ඉවත් කරන්නට සිදු වෙයි. එහෙත් ඉන්ධන කෝෂයකදී රසායන ද්‍රව්‍යය අනවරතව පිටතින් ලබා  දෙන අතර බැටරියේ ආයු  කාලය රසායන හේතු  නිසා එසේ ලේසියෙන්  නිමා  වන්නේ නැත .
හයිඩ්‍රජන් කෝෂයකදී  ඉන්ධනය  වන්නේ හයිඩ්‍රජන්ය. එය වායු ගෝලයෙන් ලබා ගැන ඔක්සිජන් සමග එකතු වී ජාල වාෂ්ප නිපදවයි. මේ රසායන ක්‍රියාවලියේදී  වහනය ධාවනයට අවැසි  බල ශක්තිය නිපදවෙන අතර එතුරු පලය වන්නේ   ජාල වාෂ්ප පමණකි. එය පරිසරවේදීන් .අමන්දානන්දයට පත් කරවන පුවතකි.

හයිබ්‍රිඩ් වාහන නම් වසර හත අටක් තිස්සේ  හෙමි හෙමින්  වෙළඳපලට එකතු වී මෙරට කාර් සේල් හා මහා මාර්ග අරක්ගෙන තිබේ. නව තාක්ෂණයක් හඳුන්වා දීමත් සමග සිදු  විය යුතු දනුම් හුවමාරුව දුර්වල වූ නිසා මුලින් මුලින් මේ වර්ගයේ වාහන දෙස බොහේ දෙනෙක් සැකමුසුව බැලූ මුත් අද වන විට තත්ත්වය වෙනස් වී ඇත. 

එසේනම් හයිඩ්රිජන් වායුවෙන් දුවන ජාල වාෂ්ප පමණක් පරිසරයට මුදා හරින ඒ අපුරු වාහන ලංකා වෙළඳපලට ළඟදී එක් වනු ඇත්ද ? මටනම් හිතෙන්නේ එය ටිකක් ප්‍රමාද වී හෝ සිදු වනු ඇති බවයි.

2014 වසරේදී  ටොයෝටා මිරායි රථය ලොව ප්‍රථම වාණිජ හයිඩ්‍රජන් කෝෂ රථය ලෙස වෙළඳ පොලට එක් වූ අතර මේ වන විට හොන්ඩා , හුන්දායි , ටොයෝටා ඇතුළු ප්‍රධාන සමාගම්  කිහිපයක්ම  වඩා  සාර්ථකව විකිනෙන හයිඩ්‍රජන් වහනයක් වෙළඳ පලට ඉක්මනින් එකතු කිරීම සඳහා පර්යේෂණ තරගයක නියලී සිටිති.


අනෙක් අතට හයිඩ්‍රජන් නිපදවීමට  පවා හයිඩ්‍රෝකාබන ඉන්ධන ඕනෑ  වීම , ඉන්ධන පුරවා ගත හැකි තැන් හිඟ වීම හා අධික වාහන මිල නිසා තාමත් මේ වර්ගයේ වාහන වලට ඇත්තේ ඉතා සීමිත ඉල්ලුමකි. සමහර විවේචකයන් කියන්නේ මෙකී තාක්ෂණ හා වාණිජ අඩුපාඩුකම් මගහරවා ගැනීමට තවත් දශක කීපයක් ගත වනු අතු බවයි. කෙසේ වතුදු හයිඩ්‍රජන්  යනු  මීළඟ පරපුරේ වාහන ඉන්ධනය  වනු ඇති බවට අනුමාන කරන පිරිස ඉතා විශාලය.


(මේ තීරු ලිපි සටහන මුලින්ම පළවුයේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ මන්දාකිනිය අතිරේකයේය )


No comments:

Post a Comment