Search This Blog

Saturday 22 December 2018

බහීගේ දවස් හත - 4- වී ගෝනියේ පගාව


2018 දෙසැම්බර් 16 ඉරිදා - RBWB පාර දිගේ 

අපි අද RBWB පාර දිගේ පැල්මඩුල්ලට  පැමිණ එතනින් හැරී උඩවලව හරහා වැල්ලවාය දෙසට ගමන් කර ආයෙමත් RBWB පාර දිගේ පොතුවිල් දක්වාම ආවා .

RBWB කියන්නේ මාර්ග සංවර්ධන  අධිකාරිය භාරයේ පවතින ලංකාවේ දිගම පාරක් . Ratnapua-Beragala- Wellawaya-Batticaloa  කියන නගර  යාවෙන මේ පාරේ මුළු  දුරම වගේ මේ දවස්වල වස්සාන  දියවරෙන් තෘප්තිමත් වෙලා. හාත්පස නිල්ලෙන් වැහිලා . නිස්කලංකයි .
මේ පාරෙන් බැහැරව ගමන් ගත් පැල්මඩුල්ල වැල්ලවාය පාරේ  අතීත මසැමරුම් සහිත  කොටසක් තමයි උඩවලවේ සිට තණමල්විල දක්වා ගිය ගමන .

දසක කීපයකට ඉස්සර මමත් පොඩි බමුණුත් ඇඹිලිපිටි කරදාසි කම්හලේ තුන් මසක පුහුණුවක් ලැබුවා. දවසක් මම ගෙදර යන්න ආවේ තණමල්විල හරහා වල්ලවායටත් එතනින් බණ්ඩාරවෙලටත්  එන පාර.  උඩවලව තණමල්විල පාරේ බස් තිබ්බේ ඉතාම කලාතුරකින්. දැන්නම් පැය බාගෙන් බාගෙට වගේ දුර ගමන් බස් තියෙනවා  .
මේ පාරෙන් එද්දී  සිද්ද වෙච්ච පරණ කතාවක් තිලක සිතේ  ලියවා.

2018 දෙසැම්බර් 17 සඳුදා - ආරුගම් බොක්ක 

පොතුවිල් නගරයේ කඩ හිමියෙක් සමග පිළිසඳරක යෙදුනා . ඔහු කිව්වේ මේ පළාතේ ඇත්තේ  ජීවනෝපාය මාර්ග තුනක් පමණක් බවයි.  . ඒ වී වගාව, ධීවර කර්මාන්තය හා ආරුගම් බොක්ක හෙවත් ආරුගම්බේ   වෙරළට එන දෙස් විදෙස් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා .
පොතුවිල් නගරයෙන් කිලෝ මීටර් හතරක් විතර දකුණට වෙන්න තියෙන ආරුගම්බේ වෙරළ ලෝක ප්‍රසිද්දයි. surfing හෙවත් දිය රළ මත  ලිස්සා යාමේ  ක්‍රීඩාවට  සුදුසු වෙරළ තීරයන් මුළු ලෝකයටම ඇත්තේ කීපයක් පමණයි. CNN Travel  ලැයිස්තුවට අනුව  surfing සඳහා ලොව   හොඳම වෙරළ තීර පණහ අතරට අරුගම්බේ ඇතුලත්. සාගර රළ ඇති වන්නේ සුළඟ නිසා. දිය මතුපිටත් ඒ මත ගැටෙන හුළඟත් අතරේ ඇතිවන ඝර්ෂණය  
නිසා දිය අණු හා වායු අණු අතරේ ශක්ති හුවමාරුවක් වෙනවා . මේ නිසා දිය රළ උපදිනවා . සමහර වෙරළවල ඇතිවන රළ සර්ෆින්ග් ක්‍රීඩාව සඳහා සුදුසු වන්නේ ඇයි කියා ඉදිරි ලිපියකින් ලියන්නම්.

ලංකාවේ සංචාරක අමාත්‍යංශයේ ඇස ආරුගම්බේ  පැත්තට යොමු වෙලා  තියෙනවද කියන ප්‍රශ්ණය නිතැතින්ම කල්පනා වෙනවා මේ  දවස්වල වෙරළට ගියාම.  එහි වෙරළේ සිට මීටර් සීයක් ඇතුලත ඉදිකළ පොල් අතු මඩු  පේළියක් විසින්  වෙරළ ආක්‍රමණය කරලා. අනික හැම අතුරු මාර්ගයක් පාසාම ප්‍රමිතියකින් තොර වූ සංචාරක හෝටල. මේවායින් යැපෙන සියලු දෙනාම ආරක්ෂා කර ගන්නා ගමන්ම මේවා නියාමනය කරන්න බැරිද? 2004 සුනාමියෙන් පස්සේ වෙරළේ සිට මීටර් සීයක් ඇතුළත සියලු ඉදිකිරීම් නතර කරන්න යෝජනා වුනා .  මේ නීති රෙගුලාසි  හරියට ක්‍රියාත්මක වෙනවානම අරුගම්බේ වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ට පරාදීසයක්ම වෙනවා වගේම ලංකාවේ සංචාරක කර්මාන්තය බ්‍රෑන්ඩ් කරන්න හොඳ ඉල්ලමක්ද වෙනවා. මේ තරම් අපිළිවෙල තත්ත්වයක් තියෙද්දිත් අපි නවාතැන් ගත් හෝටලේ කළමනාකරු කිව්වේ මෙහෙම කතාවක්.
"ලබන අවුරුද්දේ මැයි සිට අගෝස්තු වෙනකන් අපේ හෝටලේ කාමර 31ම බුක් වෙලා තියෙන්නේ . වැඩිපුරම එන්නේ ඊශ්‍රායල් ජාතිකයෝ. මේ ඕෆ් සීසන්  එක නිසා ලෝකල් අය තමයි ටික ටික හරි එන්නේ.


2018 දෙසැම්බර් 18 අඟහරුවාදා  -වී ගෝනියේ පගාව
අද  අරුගම්බේ සිට තිස්සමහාරාමයට ආවා . පැය තුනේ ගමන . තිස්ස කියනේ හොඳ මධ්‍යස්ථානයක් කොළඹට , අම්පාරට හෝ පොළොන්නරුවට  තිස්ස ඉඳන් පැය තුන හමාරකින් යන්න පුළුවන් .
 අම්පාරේ වැසියකු වන අපේ රියදුරා පරණ කතන්දර කියනවා.

"අම්පාර පැත්තේ වී මෝල් නෑ . වී ගේන්නේ එක්කෝ පොළොන්නරුවට නැත්නම් තිස්සමහරාමෙට. තිස්සමහරාමෙදී හෝ පොලොන්නරුවේදී සහල් බවට පත්වන වී ඊළඟට නික්මුණ  ප්‍රධානම වෙළඳපොළක් වුනේ  මරදගහමුල. ගම්පහ දිස්ත්‍රික්කයේ මරදගහමුල පිහිටි ලංකාවේ ප්‍රධානම සහල් මධ්‍යස්තානය කොහොම එතැන ස්ථාපනය වුනාද කියලාත් මේ  වනවිට එහි තත්ත්වය කුමක්ද කියලාත් හොයා බලන ආසාවක් ඇති වුනා .

මේ ගැන මා කල්පනා කරමින් සිටිද්දී  අපේ රියදුරා කතා කරන්න පටන් ගත්තා .
" ඉස්සර මම ලොරියක ක්ලීනර් වැඩේ කළා. දවසක් අම්පාරේ ඉඳන් වී ගෙනෙද්දී අතරමග පොලිසියෙන් ඇල්ලුවා. වැරැද්ද ලෝඩ්  වැඩියි කියලයි කිව්වේ .   එතනදීම දඩය නියම කෙරුනා.
"අර ඉස්සරහ කඩෙන් වී ගෝනියක් බාලා යනවා. හ්ම්" .

ඉස්සර වී අලෙවි මණ්ඩලය තියෙද්දී හැත්තෑ හතට කලින් ත්‍රිකුණාමල ගබඩාවේ වැඩ කර විශ්‍රාම ලැබූ ස්ටෝර් කීපර්වරයෙක්  මට කලකට පෙර හමු වුනා.

"ඒ කාලේ හරි වාසියි අපට. වී මිල දී ගැනීමේ ඒකාධිකාරිය තිබ්බේ වී අලෙවි මණ්ඩලයට .ලොරිවලින් කරත්තවලින් වී පටවාගෙන මණ්ඩලේ ගබඩා ළඟ රස්තියාදු වෙන ගොවියෝ දැක්කම  ආශාවේ බෑ . කාසි  වාසි එමටයි . ලොරියක් දෙකක්   පෝලිම පන්නලා ඉස්සරහට දැම්මම තවත් වාසි  බර වෙනවා.  . ඉතින් ඒ දවස්වල සති අන්තේ  තිරිකුනාමලේ ඉඳන් ගම්පහ තියෙන ගෙදරට මම එන්නේ ටැක්සියක් අරන්.
"දැන් මේ ආණ්ඩු මෙලෝ රහක් නෑ" . ඔහු මට එහෙම කිව්වේ 1993 අවුරුද්දේ මම පළමු රස්සාවට  අනුරාධපුර සහල් සැකසුම් හා සංවර්ධන මධ්‍යස්ථානයට ගිය කාලේ. දැන් ඒ ආයතනය හඳුන්වන්නේ පසු අස්වනු තාක්ෂණ ආයතනය කියලා .


2018 දෙසැම්බර් 20 බ්‍රහස්පතින්දා  
ගාල්ල කරාපිටිය රෝහලේ  රථ නැවතුම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ගුටි කෙළ ගත් දොස්තරලා  ගැන කතාව පහුගිය සතියේ අසන්න ලැබුනා .  ඒ වගේම මේ  සතියේ  පදික වේදිකාවේ නවතා ඇති වාහන ඔසවාගෙන යන බවට පොලිසියෙන් කෙරුණු අනතුරු හැඟවීමක් ගැන පුවත් පළ වුනා . 

මම මැද පෙරදිග රටක සේවය කරද්දීත් වාහන පාර්ක් එකකට රණ්ඩු වෙච්ච නිලධාරීන් හිටියා. එක වතාවකදී  වැඩබිම් කන්තෝරු මිදුලේ වාහන නැවතුම් තිබ්බේ හතක් හෝ අටක් පමණයි  . ඒවා සියල්ල ජේෂ්ඨ නිලධාරීන්ට  හා විශේෂ අමුත්තන්ට වෙන් කෙරුනා . ඒත් ඒ කාණ්ඩයට නොවැටුණු විදුලි ඉන්ජිනේරුවරයා තමන්ට මදක්මේ නුදුරු පිහිටි පිටත නැවතුමේ ඉඩක් වෙන් කිරීම ගැන උරණව රණ්ඩු කළා. හැමදාම කාරය ගෙනවිත් කාර්යාලයේ සේවා යෝජකයන් සඳහා  වෙන් කර තිබු නැවතුම් දෙකෙන් එකක බලෙන්ම වගේ නවත්වා යනවා.  ආරක්ෂක නිලධාරීන්ටත් කොක්ක අදිනවා. ඇඩ්මින් අංශයේ හැමෝම  එක්කත් වලි. මේ ගැන ප්‍රධාන නේවාසික ඉංජිනේරුවාට නිතිපතා පැමිණිලි එනවා. ඔහු  දවසක් අපූරු වැඩක් කළා .  ඒ විදුලි ඉංජිනේරුවා සඳහා වෙන් කර ඇත කියල බෝඩ් දෙකකක්ම ඇඳලා අර ක්ලයන්ට්  පාක් එකේ ගැසීම . පහුවදා විදුලි ඉංජිනේරුවා  ආවා . අලුත් බෝඩ් දැක්කම ලැජ්ජා හිතුනා. එළියෙන් ගිහින් කරය නවතා නිස්සබ්දව කන්තෝරුවට  ආවා. 

වාහන නැවතුම් සම්බන්ද තාක්ෂනය ලෝකයේ වේගයෙන් දියුණු වෙනවා . මේ වෙනකොට වාහන පාක් කළමනාකරණය කර ගන්න හිස් වී ඇති නැවතුම් පහසුවෙන් සොයා  ගන්න මොබයිල් ඇප් රාශියක්ම  නිර්මාණය වී තිබෙනවා . ඒ වගේම සීමිත ඉඩක වාහන රාශියක් නැවතීමේ නවෝත්පාදන බිහි වෙමින් තිබෙනවා . 


Sunday 2 December 2018

පෝන්ටුන් හා තවත් කතා - බහීගේ දවස් හත 3



2018 නොවැම්බර් 30 - පොනටුන් හා සමාජ වගකීම 
පොන්ටුන් ගැන යමක් ලියන්නට මට හිතුනේ දියවන්නාවේ කිඹුලා ඇල හන්දියට යාබද නිසල දිය පිරි පොකුණක කවුදෝ ඉදිකළ යකඩ ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් පසු එහි  පසුබිම් කතාව ගැන විපරම් කළාට පසුවයි. කෝට්ටේ පාරෙන් යනෙන ඕනෑම අයෙකුට අයස්කාන්ත දසුනක් වූ මේ නිසංසල පරිසරයට  ආගන්තුක වූ මේ ඉදිකිරීම ගැන මමනම් මුල හිටන්ම හිටියේ නොමනාපෙන්. කොටින්ම ඔවිනිත්  මාත් උදේට ඔය හරියෙන් ඇවිදින  එකත්  නතර කළා .

කොහොම උනත්ව මේ හදාපු යකඩ ගොඩනැගිල්ල ගිලා බැස්සේ ඇයිදැයි හොයා බලද්දී දැන ගන්නට ලැබුනේ එය මුලින් ඉදි  කරලා තිබ්බේ වතුරේ පාවෙන විශ්ෂ හැඩයේ ආධාරක හතරක් උඩ බවයි   මේවා පොන්ටුන් නමින් හැඳින්වෙනවා. අපට සරසවියේදී පළමු අවුරුද්දේ පොන්ටුන් ගැන ඉගැන්වෙනවා . ඒ නිසාම බැච් කීපයකම පොන්ටූන්ලා හිටියා. අර කොන්ක්‍රීට් බෝට්ටුව වගේ මේවා වතුරේ ගිලෙන්නේ නැති බව අපේ තාත්තාත් දන්නවා .  ජලයේ පාවෙන පොන්ටුන් මත ඉදි වූ විශාල වැඩබිම් හා තාවකාලික ගොඩනැගිලි තිබෙනවා. ඉස්සර ඉංජිනේරු සංස්ථාවට පොන්ටුන් කීපයක් තිබ්බා. ඒ කැළණි ගඟේ වැලි ගොඩ දැමීමට.

ඉතින් ඉහත කී ඉදිකිරීමෙන් පසු පොන්ටූන් එකක් හෝ දෙකක් රොන් මඩේ හිර වුනාලු. ඒ නිසා  බලාපොරොත්තු වූ විදිහේ සමබරතාවයක් පවත්වා ගන්න බැරි වීමෙන්  යකඩ මඩුව  ටික ටික ගිලා බහින්න ඇති . ඊළඟ විසඳුම වුනේ ටොන් බර  ගානක් උස්සන්න පුළුවන් තඩි දොඹකරයක් විසින්  මඩුව පැත්තකින් උස්සා තබා  එහි යෝජිත පාදමට කළුගල් පිරවීම . මේක උස්සන දවසේ මම එතනින් බලාගෙන ගියා අර රාළහාමි ලිඳ උස්සපු දවසේ වගේ අබ්බගයක් වෙයිද කියලා . ඒත් නෑ . දැන්නම් ගල්ගොඩ උඩ ශේප් එකේ වැඩ ඉන්නවා. මේ ගැන වැඩි විස්තර දන්නේ නැතිමුත් මේ කාර්යය එක්තරා පුද්ගලික සමාගමක CSR ව්‍යාපෘතියක්ලු.

මේ වගේ  Corporate Social Responsibility ව්‍යාපෘති ව්‍යාපාරික සමාගම් විසින් සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කරනවා. බොහෝ සමාගම් මේ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් යොදවනවා. ඒත් මොන තරම් හොඳ හිතින් කළත් ඉහත  කී ආකාරයේ සමාජ සත්කාරනම් නැතුවට කමකුත්  නෑ .

2018 නොවැම්බර් 26   - අයිස් සමුළුව කොළඹදී 

පසුගිය 19 වැනිදා  මම අයිස් ශ්‍රී ලංකා සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වුනා මිතුරු ඉන්ජිනේරුවෙකුගේ ඇරයුමෙන්.  අයිස් යනුවෙන්  ශබ්ද කරාට ඒක ICE ( Institution of Civil Engineers) . අවුරුදු දෙසීයක් පරණ ඉංජිනේරු ආයතනයක්.  ජාත්‍යන්තරව පිළිගත්  බොහෝ වෘත්තීය ආයතනවල වගේම ICE මුලස්ථානය තියෙන්නෙත් ලංඩන් නුවර. එංගලන්තය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් හොයන්නේ විවිධ නම්වලින් යුත් රාජකීය  ආයතනවල ලෝ පුරා විසිරිච්ච සාමාජිකයන්ගෙන් අය කරන වාර්ෂික ගාස්තුවෙන්. මෙය හිතනවාට වඩා විශාල අගයක්. ලංකාවෙනුත් සෑහෙන විශාල මුදලක් රටින් පිටට ඇදීයනවා මේ වෙනුවෙන්. BCS, RICS, CIHT වැනි ආයතන දහස් ගණනක් තිබෙනවා . මේ ගැන වාදයක් අද  දවල් කෑම පැයේදී  මතුඋනා.

"මමනම් ශත පහක් ගෙවන්නේ නෑ ඔය ගසා කන කන ආයතනවලට"  අයෙක් කීවා.

ඒත් මගෙනම් තිබුනේ වෙනස් මතයක් . මේවා සල්ලි හම්බ කරන ආයතන විය හැකියි . ඒත් වෘත්තීය පිළිගැනීමක වටිනාකම පවත්වා ගැනීමට මින් සමහර ආයතන  නිරන්තරව උත්සහ කරනවා. ඒ නිසා විශ්වාසනීයත්වය  හා තත්ත්වය බාල වන්නේ හරිම කලාතුරකින්  . ඒ නිසාම විදේශ රැකියාවක් සඳහා  පිටත් වෙනවානම් ඊට පෙර ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම වැදගත් . මැද පෙරදිගදීනම් එවැනි විශේෂිත සුදුසුකම් හා සාමාජිකත්ව තිබෙනවානම් තරමක විශාල තනතුරකට හා වැඩි පඩියකට යන්නට පුළුවන්.  ඒත් මේ ගැන පිළිගත හැකි දැනුවත් කිරීමක් කාගේ අතින්වත් කෙරෙන්නේ නෑ .

මැද පෙරදිග රස්සා වලට  සුදුසුකම් ලැබූ වෘත්තිකයන් මිස  නුපුහුණු ශ්‍රමිකයන් යැවීමෙන් රටටනම් කිසිම සෙතක් නෑ . පිලිපීනය මේ වෙනවිට බොහෝ රටවලට ගෘහ සේවකයන් යවන්නේ නෑ .ඒ වෙනුවට  ඔවුන් පුහුණු ශ්‍රමිකයන් හෝ එක්තරා වැටුප් මටමකින් උඩ රැකියා සඳහා පමණයි සේවකයන් යවන්නේ.
කොටින්ම කියනවානම් නුපුහුණු සේවකයන් තිස් දෙනෙක්ගේ පඩිය එක ඉන්ජිනේරුවෙකුට  ගෙවන රටකට ඉංජිනේරුවන් යැවීමට උත්සහ නොකර  නුපුහුණු සේවකයන් යැවීම තේරුමක් නෑ . අනිත් අතට ශ්‍රමිකයන් පැත්තෙන් ඔවුන්ට දැන් යනවා වගේ දෙතුන්ගුණයක පඩියකට යන්නට හැකිනම් ඔහුගේ ගමන මොන තරම් අර්ථ සම්පන්න වෙනවාද .

අයියෝ මං ඉතින් ලියන්නට මුල පිරුවේ අයිස් සමාගමේ වාර්ෂික සමුළුව ගැන නේන්නම්. ඒ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්තුවේ ප්‍රවීණ ඉංජිනේරුවරියක් වන ලින්ඩා මිලර් . ඇය මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතියක ඉදිකිරීම් අධ්‍යක්ෂක. ඇගේ කතා බහේ මාතෘකාව ප්‍රවාහන යටිතල පහසුකම් හා සංකීර්ණ මහා ව්‍යාපෘති වලදී විවිධ  ක්ෂේත්‍ර අතර දැනුමෙන් ගනුදෙනු කරන්නේ කොහොමද යන්නයි. මේ විෂයයම මගේ රස්සාවද වන නිසා එකී මාතෘකාව යටතේම විශේෂ  ලිපියක් සිලිකන් වැල්ලට් ලියන්න බලාපොරොත්තු වෙනවා .

අනෙක ඇය කළේ ජාත්‍යන්තර බ්රුනෙල් (Brunel) අනුස්මරණ දේශනා මාලාවේ එකක්. කවුද මේ බ්රුනෙල්  කියන්නේ ?

Isambard Kingdam Brunel  19 වන සිය වසේ ලොව බිහි වූ  විශිෂ්ටතම ඉංජිනේරුවකු  ලෙස සැලකෙනවා. 1906 එංගලන්තයේදී උපන් ඔහු ගැන වැඩිමනත් විස්තරද ඉදිරි ලිපියකින් කතා කරනවා . 


සබැඳී- Links

බහීගේ දවස් හත 1 
බහීගේ දවස් හත 2