Search This Blog

Monday 21 May 2018

පැල්මඩුල්ලේ මහගල

Photo- Geo-View


පැල්මඩුල්ලේ මහගල 

පසුගිය සතියේ පැල්මඩුල්ල නගරය හරහා ගමනක් යන්නට සිදු වූ නිසා රත්නපුර බලන්ගොඩ පාර හදද්දී අපට මුහුණ දෙන්නට සිදු වූ එක්තරා ගැටළුවක්   විසඳා ගත් අයුරු සිහිපත් විනි. ඒ 2001 -2002 කාලයයි.   ගැටලුව වුයේ පැල්මඩුල්ල නගර්ය්යේ එක කෙළවරක  පුළුල් කරන්නට නියමිත මාර්ග සීමාවේ තිබු මහා කළු ගලකි. එය අනෙක් පැත්තෙන් අලුතින් හැදු දෙමහල් නිවසකට ගෑවී නොගෑවී තිබිණි. මාර්ගය පුළුල් කරන්නට නම් මේ ගල කඩා ඉවත් කළ යුතුය. එහි ප්‍රමාණය අනුව අතින් කඩන්නට  බැරිය. යාබද නිවසට  හානියක් සිදුවන නිසා ගල පුපුරුවා හරිනනටද නොහැක. ඉතා අඩු දෙදරුමක් ඇති පාලිත පිපිරුම් ක්‍රම කොතෙක් තිබුනත් අවධානම නැති වන්නේ නැත .

මේ අවස්ථාවේ අපට පිහිටට පැමිණියේ එක්තරා සිලිකේටයකි. එවකට තිබු අවම පහසුකම් යටතේ අන්තර්ජාලයට පිවිස මේ නිහඬ පිපිරීම් කරන රසායන ද්‍රව්‍යයක් නිසි අවසරය ඇතිව මිලදී ගෙන අවශ්‍ය පරිදි ගල කොටස් වලට වෙන් කිරීමට අපට හැකි  විය. ගලේ යම් සැලසුමක් ඇතිව සිදුරු විද රසායන තලපය රිංගවා ගල ගෝනිවලින් වසා  තැබූ පසු දිනකින් පමණ ගල සියුම් ඉරිතැලීම් වලට ලක් වී තිබුනෙන් නිවසට කිසිදු හානියක් නොකර ගල කුට්ටි කර ගැනීමට පු ළුවන් විය . මේ වර්ගයේ සිමෙන්ති වැනි ද්‍රව්‍යය ජලයේ  මුසු කර තලපයක් මෙන් සියුම් සිදුරුවල්ට රිංගවා තැබූ විට එම මිශ්‍රණය ප්‍රසාරණය වෙන්ට පටන්ගනී. මේ වැඩිපුර ඉඩ ගන්නේ ගල හෝ සිමෙන්ති කුට්ටිය පුපුරා යාමෙන්ය්. මෙය ලෝ පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී යොදා ගන්නා පරිස්සමින් භාවිත කළ යුතු නිසි පුද්ගලයා අතට පමණක් යා යුතු තාක්ෂණයකි 


බත් පත සුරකිමු 

පේරාදෙණි යේ සරසවි නේවාසිකාගාර අතරින් අක්බාර් ශාලාව අපට වසර ගණනක් නිවහන වුනේය. 

අක්බාර් නේවාසිකාගාරයේ ආපන ශාලාවාදි ලොකු ඇට  තිබෙන මදක් දුර්ගන්ධයෙන් යුත් මිල්චාඩ් හාලේ  බතින් අප කුස ගිනි නිව්වේය . මේ බත්පතේ  නිරතුරු සිලිකාමය වැලි හා ගල් කැබලිද  නොඅඩුව තිබිණි. අප වෙනුවෙන් බතට එක් කරන ලද ඛනිජ ලවණ කොටස් ලෙස සලකා අපි ඒවා ඉවසුමුත් දිනක් බත් පතින් නැගෙන අපුල ගඳ ඉවසාගත නොහී මගේ මිතුරෙක්  අක්බාර් ආපන ශාලා කුස්සියට කඩා  වැදී විශාල කල්දේරම් බත් මුට්ටිය අනිත් පැත්තට පෙරලා දැම්මේය 

මේ සිද්දිය මොන තරම් ට බරපතල දෙයක් වුවාද යත් පෝලිමේ සිටි දෙතුන් සීයක් දෙනාට දවල්ට  කන්න නැති වූ අතර බත් මුට්ටිය පෙරලීමට මුල් වූ මගේ මිතුරා පන්ති තහනමකට ලක් විය. භීෂණ සමයේත් බොහෝ  කම්කටලු  විඳ යලිත්  සරසවියට පැමිණි ඔහුගේ පන්ති තහනම ඉවත් කරගෙන ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නට මම  ඔහුත් කටුව එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය ලක්ෂ්මන්  ජයතිලක හමුවන්නට ගියෙමි 

කන්නට තිබෙන බත්පත වැනසීම  අපේ සංස්කෘතිය අනුවත් ඒ වෙලාවේ තිබු සිසුන්ගේ බඩගින්න අනුවත් මොන තරම් පාප කර්මයක්දැයි දීර්ඝ වශයෙන් විස්තර කල උපකුලපතිවරයා ඉන්පසු සහල් නිෂ්පාදනයේ නොයෙක් අංශ ගැන අපට එපා වනතුරු පැහැදිළි  කළේය.
ඒ දීර්ඝ දේශනාව අවසාන අප මිතුරාගේ පන්ති තහනමද ලිහිල් වූ වග මතකය.  ඒ  අතර සහල් නිෂ්පාදනය හා ඉන්ජිනේරුවාගේ කාර්ය භාරය ගැන මගේ මුල්ම උනන්දුවද අවදි වුනේය.

හාල්  තැම්බීමේ කාර්යයෙදී   ක්ෂුද්‍ර ජීවීන් බහුල අපිරිසිදු පල්  වතුර යොදා ගැනීම මේ ගඳ ගසන හාල් වෙළඳපොළට එක වීමට එක් හේතුවක්  වෙයි. අනෙක් ප්‍රධාන හේතුවක් වන්නේ නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සහල් අකලට නරක්  වීමයි. 

වී තැම්බීමේ හා ඇඹරීමේ ශිල්ප ක්‍රම අද බෙහෙවින් දියුණු වී තිබෙන නිසාත් සහල්වලින් ගල්  වැලි ඉවත් කරන යන්ත්‍ර සහල් මෝලක අනිවාර්ය අංගයක් වී තිබෙන නිසාත්  මොන  බෝඩින් බතකවත් අද ඒ හැටි ගල් වැලි දකින්නට නැති අතර ගඳ ගසන හාල් වෙළඳ පොලේදී හමු වන්නේත් කලාතුරකිනි. ඉස්සර අපේ මුළුතැන් ගෙයි සැලකිය යුතු තැනක් හිමු වූ නෑඹිලිය අද වන විට නොවැදගත් බඳුනක් බවට පත් වී තිබේ. 

ඒත්  සහල් ගබඩා කිරීමේදී කෘමී සතුන්ගෙන් වන හානිය වලක්වා ගැනීමට විෂ රසායන එකතු කිරීමනම් තාමත් ජයටම කෙරීගෙන යයි.  අනික් අතට රටේ සහල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමානයක් අනිසි ලෙස ගබඩා කිරීම නිසා විනාශ වී යයි.  තුන් වේල බත් කන බහුතරයක් වෙසෙන රටක මෙය කිසි සෙත් සතුටු විය හැකි තත්ත්වයක්  නොවේ.

පසුගියදා  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේදී මෙරට ඉන්ජිනේර්ය්රු  ප්‍රජාවට පණිවිඩයක් දෙමින් පේරාදෙනි ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ පැවසුවේ  සහල් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර, වස විසෙන් තොර සහලක් මෙරට ජනතාවට ලබා දීම සඳහා මෙරට  ඉන්ජිනේරුවන්ටද  මෙහෙයක් පැවරෙන බවයි.

වී හෝ හාල් ගබඩා   ඇතුළේදී  නරක් වන්නේ උෂ්ණත්වය හා තෙතමනය නිසි පරිදි පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාය. යම් ගොඩනැගිල්ලක් තුල මෙකී ගුණාංග පවත්වා ගැනීම ඉංජිනේරු කාර්යයකි. මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ පසුගියදා අහර කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරන ලද  පර්යේෂණයක් මගින් පෙන්වා දුන්නේ මෙය වී සහ හාල් ගබඩා කිරීමේදී අභියෝගාත්මක මුත් කළ හැකි දෙයක් බවය. වේයන්ගොඩ පිහිටි රජයේ වී ගබඩාවකදී රසායන ද්‍රව්‍ය එකතු නොකර වී ගබඩා කර ගන්නා අයුරු ඔහු ඇතුළු පර්යේෂක පිරිස සාර්ථකව අත් හදා බැලුවේය. 
මේ අනුව කල් තබා ගැනීමට හාල් ගෝනියට රසායන පෙත්තක්  එකතු කිරීම  තව දුරටත් වුවමනා වන්නේ නැත . අපේ රටේ ගොවියා දාඩිය මහන්සියෙන් නෙලා ගන්නා වී අස්වැන්නෙන් සියයට දහයක් ගබඩාවලදී නරක් වී නොයනු ඇත.

2008 අවුරුද්දේ ගන්නා ලද කැබිනට් මණ්ඩල තීරනයකට අනුව ආහාර දෙපාර්තමේන්තුවට පැවරෙන ප්‍රධාන මෙහෙවරක් වන්නේ දිවයින පුරා පිහිටි වී ගබඩා 147ක වී මෙට්‍රික් ටොන් ලක්ෂයක අතිරේක හාල්  ප්‍රමාණයක් කෘමින්ගෙන් තොරව පවත්වාගෙන යෑමත් රටේ සහල් වෙළඳපොලේ අවශ්‍යතා පාලනය කිරීමත්ය .
මේ කාරිය සඳහා ඉහත කී පර්යේෂණ මෙහෙවින් වැඩදායක බව නොකිව මනාය. අනෙක් අතට ඉලෙක්ට්‍රොනික හා උසස් තාක්ෂණ යැයි සැලකෙන කවුරුත්  අවධානය යොමු කරන ජනප්‍රිය විෂය ධාරා අතරට  අප නිතිපතා අනුභව කරන අහර සුරක්ෂිත කර ගැනීමේ තාක්ෂනය ආකල්පමය වශයෙන් එකතු නොවී තිබීම කණගාටුවට කරුණකි.


අද්මිරාල්  ග්‍රේස් හොපර් 

 'නැවක් වරායේ තිබියදී එය සුරක්ෂිතය. එහෙත් නැවක් හදන්නේ වරායේ සුරක්ෂිතව තබා ගැනීමට නොවේ.' මෙසේ කියා ඇත්තේ ලෝ සුපතල කාන්තාවක වූ ග්‍රේස් හොපර් විසිනි. 1906 දෙසැම්බර් මස  නව වැනිදා නිව් යෝක් නගරයේදී උපන් ඇය 1992 ජනවාරි පළමුවැනිදා කළුරිය කළාය . ඒ අනුව ඇය අපේ ආච්චිගේ  සමකාලීනයෙකි. අපේ ආච්චී ඇතුළු මෙරට කාන්තාවන් දරුවන් බැලීම ,වී කෙටීම, හාල් ගැරීම, කොස් කැපීම වැනි කාරියන්ගෙන් දවස පුරවා ගනිද්දී ග්‍රේස් හොපර් ලෝක පරිගණක ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළාය . පරිගණක වැඩසටහන් සඳහා ලොව පළමු කොම්පයිලර්  හඳුන්වා දුන්නේ ඇය යි.  සංකේත සටහන් විලින් පිරි පරිගණක භාෂා  වෙනුවට මිනිසුන් වහරන සාමාන්‍ය බසට සමීප  පරිගණක භාෂා හඳුන්වා දීමට උනන්දුවෙන් කටයුතු කළ  ඇය  එම වර්ගයේ ලොව ප්‍රථම පරිගණක භාෂාව වූ COBOL සඳහා අඩිතාලම දැම්මාය. මේ සියල්ලට අමතරව ඇය එක්සත් ජනපද නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියක්ද  වුවාය. 
ග්‍රේස් හොපර් ගැන මට ලියන්නට සිත් වුනේ අපේ රටේ තරුණියන් වැඩි වශයෙන් පරිගණක අංශයේ උසස් අධ්‍යාපනයට යොමු වන ප්‍රවණතාවක් දක්නට ලැබෙන නිසාය. .
ලෝ පුරා පරිගණක විද්යා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කාන්තාවන්  මහත් උත්කර්ෂවත් ලෙස අවුරුදුපතා සමරන 'ග්‍රේස් හොපර් අනුස්මරණ පරිගණක ක්ෂේත්‍රයේ නියැලී කාන්තාවන්ගේ  දිනයට වරක් හෝ එකතු වන්නට ඔවුන්ටද ලැබේවායි පතමි. 

ලිව්වේ තිලක 
( මෙම තීරු ලිපිය මුලින්ම පල වුයේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ මන්දාකිනිය අතිරේකයේය )


No comments:

Post a Comment