Search This Blog

Monday, 21 May 2018

මාලිගාවිල බුදු පිළිමය හා ඉංජිනේරු සංස්ථාව

මාලිගාවිල බුදු පිළිමය -www.picture.lk

මා වරක් ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී දුටු ලා රෝස පහැති කුඩා, සිලින්ඩරාකාර කිරිගරුඬ කැබැල්ල මාලිගාවිල බුදු පිළිමයේ කොටසක්  බව දැන ගත් විට මගේ මතකය පාසැල් කාලයට දිව ගියේය .

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් මාලිගාවිල පිහිටි බුදු පිළිමය මැත ඉතිහාසයේ සොයාගනු ලබන්නේ 1951දී කැබලි කිහිපයකට කැඩී  පොළවේ වැතිරී තිබෙදදීය. හත්වන සියවසේදී ඉදි කරන ලද මේ බුදු පිළිමයට  නිදන් හොරුන් අතින්ද හානි සිදු වී තිබිණි. 
මේ පිළිමය කෙළින් හිටුවීමට ගත් උත්සාහයක්  පිලිබඳ අපේ ඉස්කෝලේ ගුරුතුමෙක් ඉතා රසවත්ව විස්තර කළා මට මතකය. මේ වැඩේ තමන්ට කරන්නට පුළුවන් බව කී වඩු කාර්මිකයෙක් ගැනද ඒ කාලේ කතා බහ කෙරුනා මතකය. කොටින්ම පිළිමය කෙලින් සිටුවීම අභියෝගාත්මක කාරියක් වුයේ එය තනි කිරි ගරුඬ ගලකින් නිමවා තිබීමත් යලි සොයා ගන්නා විට කැබලි  කීපයකටම වෙන් වී තිබීමත් නිසාය. 
 1991 දී  මේ කාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරුනේ එවකට  රාජ්‍ය නායකයගේම මැදහත් වීමෙනි. අපේ ඉංජිනේරු සංස්ථාව විසින් නිම කරන ලද සුවිශේෂ කාරියන් අතරට මාලිගාවිල පිළිමය කෙලින් සිටුවෙමද අයත්ය. පිළිමයේ වෙන්වූ කැබලි සිදුරු කර සුදු යකඩ දඬු බස්සවා කොටස් වශයෙන්ම දොඹකර යොදා නැගිටුවා ගත් මාලිගාවිල බුදු පිළිමය අද වන විට ලංකාවේ උසම තනිව නැගී සිටින බුද්ධ ප්‍රතිමාව වෙයි. එය උසින් අඩි 38කි.
මේ කාරියේ ප්‍රමුඛ වැඩ කොටසක් කළ ප්‍රවීණ ඉංජිනේරුවරයෙක් වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා යටතේ කලක් සේවය කරන්නට ලැබීම මගේ වාසනාවක් කොට සලකමි.

මා ඔහුගේ කාර්යාලයේදී  දුටු පරිගණක ආශ්‍රිත ඇඳීම් (CAD ) අතර පොලොන්නරුව ගල් විහාරයට සෙවන සපයමින් ඉදිකළ පියස්සද, මිරිසවැටිය දාගැබේ බැඳ වටා ඉදිකළ කොන්ක්‍රීට් වළල්ල පමණක් නොව දළදා මාලිගාවේ රන් පියස්සද ත්‍රිමාණ  රු  සටහන් ලෙස තිබුනේය. ඒ මෙරට මෙකී පරිගණක තාක්ෂනය ඉතා ළදරු අවස්ථාවේ පවතී කාලයකි. ඒත් අනාගත තාක්ෂණයන් කල් ඇතිව ග්‍රහණය කරගෙන මෙරට ඉංජිනේරු  කාරියන් කිරීමේ හැකියාව ඉංජිනේරු සංස්ථාවට තිබිණි. නිරන්තරයෙන්  එල්ල වූ දේශපාලන අත පෙවීම් නිසා ඉංජිනේරු සංස්ථාවේ ගමන අඩාල  නොවුනානම් අද වන විට ත්‍රිමාන ඉංජිනේරු නිර්මාණ හා දත්ත තබා ගැනීම, වැඩ සැලසුම ආදිය සඳහා යොදා ගන්නා ගොඩනැගිලි තොරතුරු ආකෘතිකරණය  (Building  Information Modelling ) ආදී තාක්ෂනයන් රටට හඳුන්වා දෙන පුරෝගාමී මෙහෙවරක් ඉංජිනේරු සංස්ථාවට කරන්නට හැකියාවක්  තිබිණි.

ඉංජිනේරු ගැමුණු සිල්වා සමග වරක් පෑලියගොඩ පොහොර කම්හලක් බැලීමට  ගිය ගමනක්ද මට සිහිපත් වෙයි, එතෙක් යාන්ත්‍රික හා මිනිස් ශ්‍රමයෙන් පොහොර මිශ්‍ර කිරීම හා ඇසිරීම කළ මේ කම්හලට මුළුමනින්ම  ස්වයංක්‍රීය නිෂ්පාදන  පද්ධතියක් සවි කිරීම සඳහා හැකියාව සොයා බැලීම ගමනේ අරමුණ විය. හොඳින් මදින ලද අලුත් කමිස ඇඳ ගත්  මාත් මගේ සරසවි මිතුරෙකුත් ගැමුණු සිල්වාත්  මේ ගමනට එකතු වු පිරිසයි .

කමිසය කිලිටි නොකරගත යුතු නිසා පරිස්සමින් යන්ත්‍ර සුත්‍රවල නොගෑවී එහෙ මෙහෙ ගිය තරුණ ඉංජිනේරුවන් දෙදෙනාට තමන් සමග පැමිණි ජේෂ්ට ඉංජිනේරුවා අතුරුදන් වී ඇති බව පෙනිණි . හැම තැනම  සොයා බැලු විට අප දුටුවේ ඉතා ඉහළ අට්ටාලයකට නැගී යකඩ වැටක එල්ලී පොහොර මිශ්‍රණ යන්ත්‍රයේ ඇතුළත නිරීක්ෂණය කරන  ඉංජිනේරු ගැමුණු සිල්වාය.


සන්නිවේදන තොරතුරු තාක්ෂණය හා රජයේ ප්‍රතිපත්තිය 

මෙරට රාජ්‍ය අංශයේ සන්නිවේදන තොරතුරු තාක්ෂනය කලක් ඉතා සීග්‍රයෙන් ඉදිරියට ගියේ සන්නිවේදන තොරතුරු තාක්ෂණ නියෝජිතායතායේ මැදිහත් වීමෙනි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය www .gic .gov .lk  ජාත්‍යන්තර සම්මානයට පත්‍ර වූ මේ ආකාරයේ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය සැලසුම් කරන අවධියේ  මුලික සාකච්ඡා වලට දේශීය උපදේශක සමාගමක් වෙනුවෙන් මමද වරක් හෝ දෙවරක් සහබාගි වුනෙමි.මේ අංශයේ සේවය කරන මගේ මිතුරෙක් පසුගියදා මා සමග පැවසුයේ දුරදර්ශී රජයක් විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නගා සිටුවීමටනම් කලයුතු කාර්යයන් දෙකක් තිබෙන බවයි. පළමු වැන්න රාජ්‍ය තොරතුරු කේද්‍රය වැනි නිර්මාණ නොකඩවා  යාවත්කාලීන කිරීම හා  ඒ පිලිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමය. දෙවැන්න  තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැලී මෙරට  කුඩා සමාගම් රැක  ගැනීමය. 


හයිබ්‍රිඩ් හා හයිඩ්‍රජන් කෝෂ 


මීට දශක දෙකකට  පමණ පෙර මෙරට ජාතික පුවත්පත්වල අපුරු සිරස්තලයක් පළ විය. ' රථවාහන පෙට්‍රල්  වියදම   සියයට හතළිහකින්  අඩු කරන විප්ලවීය සොයා ගැනීමක් ශ්‍රී ලංකාවෙන් '

ආචාර්ය ඒ එන් එස්  කුලසිංහයන්ගේ උපදේශකත්වය යටතේ නර්ඩ් ආයතනය විසින් කරන ලද පර්යේෂණයක් සාර්ථක වීම නිසා මේ සතුටුදායක ආරංචිය ජාතියට දන්වන්නට ලැබුණු බව මේ පුවත් පත් විසින් වාර්තා කර තිබිණි. එකී පුවත  ඇත්තක් වූවානම් එය ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථික විපර්යාස සිදු විය හැකි විප්ලවීය  සොයා ගැනීමකි. අවාසනාවකට මේ පළමු රැල්ලේ ප්‍රසිද්දියත්  සමගම මේ ගැන කතා බහ තුනී වී ගිය අතර සමහර විද්වත්තු  එම   සොයා ගැනීම  හා පුවත්පත්වල පල වූ වාර්තා පිලිබඳ දැඩි විවේචන එල්ල  කළහ.

පුවත නිකුත් වී නොබෝ දිනකින් මේ ගැන අදහස් දැක්වූ මෝටර් යාන්ත්‍රික  ඉංජිනේරුවෙක් හා සරසවි කතිකාචාර්යවරයෙක් කියා සිටියේ එන්ජින් කුටීරයෙදී දහනයට එක්වන පෙට්‍රල් වාස්පය පළමුවෙන් චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යැවීමෙන් එම මිශ්‍රණයේ යම් රසායනික ව්‍යුහ  වෙනසක් කළ හකි බවත් ඉන් ඇතැම් විට කාර්යක්ෂමතාව ඉහල නංවා ඉන්ධන වියදම අඩු කර ගත හැකි බවත්ය. ඒත් අපේ පර්යේෂණ තිබෙන්නේ තාමත් ප්‍රථමික මට්ටමේ බවත් මෙවන් පර්යේෂණයක් සාර්ථක වූ බව කියන්නට කලින් තව බොහෝ  පරීක්ෂණ හා නිරීක්ෂණ කරන්නට තිබෙන බවත් ඔහු පැවසීය.  ඔහුගේ දෙසුම මගේ  සිත් ගත්තේ ඔහු කියූ තවත් කතාවක් නිසාය . එනම් ඉදිරියට බිහිවන වාහන වල ප්‍රධානම ලක්ෂණ දෙක වනු ඇත්තේ අඩු ඉන්ධන වියදම හා වැඩි ඉලෙක්ට්‍රොනික සංවේදීතාවය යන්නයි. ඒ අනුව එම දේශකයා දුටු අනාගත මෝටර් යාන්ත්‍රික ඉන්ජිනේරුවා  අනිවාර්යයන්ම ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක්ද විය යුතු බවය . මේ හයිබ්‍රිඩ් ඉංජිනේරුවන්ගේ වුවමනාව අද වන විට තද්න්ම දැනෙන්නට පටන්ගෙන ඇත්තේ දැන් බිහි වෙම්න් පවතින හයිබ්‍රිඩ් හා හයිඩ්‍රජන් කෝෂ සහිත වාහන නිසාය 

මේ වාහන දෙවර්ගයේම  පමණක් නොව මුළුමනින්ම ඉලෙක්ට්‍රික් කාර් වලද ඇති පොදු ලක්ෂනයක්නම් රසායන ශක්තිය විදුත් ශක්තිය බවට හරවන කෝෂවලින්  මේවා සමන්විත වීමයි. අප දන්නා සාමාන්‍ය බැටරි හෙවත් කෝෂ වල ඇති රසායන ද්‍රව්‍ය ක්ෂය වෙමින්  යද්දී සරල විද්‍යුත් ධාරාවක් උපදවා ගත හැක. අවසානයේ එම බැටරිය භාවිතයෙන් ඉවත් කරන්නට සිදු වෙයි. එහෙත් ඉන්ධන කෝෂයකදී රසායන ද්‍රව්‍යය අනවරතව පිටතින් ලබා  දෙන අතර බැටරියේ ආයු  කාලය රසායන හේතු  නිසා එසේ ලේසියෙන්  නිමා  වන්නේ නැත .
හයිඩ්‍රජන් කෝෂයකදී  ඉන්ධනය  වන්නේ හයිඩ්‍රජන්ය. එය වායු ගෝලයෙන් ලබා ගැන ඔක්සිජන් සමග එකතු වී ජාල වාෂ්ප නිපදවයි. මේ රසායන ක්‍රියාවලියේදී  වහනය ධාවනයට අවැසි  බල ශක්තිය නිපදවෙන අතර එතුරු පලය වන්නේ   ජාල වාෂ්ප පමණකි. එය පරිසරවේදීන් .අමන්දානන්දයට පත් කරවන පුවතකි.

හයිබ්‍රිඩ් වාහන නම් වසර හත අටක් තිස්සේ  හෙමි හෙමින්  වෙළඳපලට එකතු වී මෙරට කාර් සේල් හා මහා මාර්ග අරක්ගෙන තිබේ. නව තාක්ෂණයක් හඳුන්වා දීමත් සමග සිදු  විය යුතු දනුම් හුවමාරුව දුර්වල වූ නිසා මුලින් මුලින් මේ වර්ගයේ වාහන දෙස බොහේ දෙනෙක් සැකමුසුව බැලූ මුත් අද වන විට තත්ත්වය වෙනස් වී ඇත. 

එසේනම් හයිඩ්රිජන් වායුවෙන් දුවන ජාල වාෂ්ප පමණක් පරිසරයට මුදා හරින ඒ අපුරු වාහන ලංකා වෙළඳපලට ළඟදී එක් වනු ඇත්ද ? මටනම් හිතෙන්නේ එය ටිකක් ප්‍රමාද වී හෝ සිදු වනු ඇති බවයි.

2014 වසරේදී  ටොයෝටා මිරායි රථය ලොව ප්‍රථම වාණිජ හයිඩ්‍රජන් කෝෂ රථය ලෙස වෙළඳ පොලට එක් වූ අතර මේ වන විට හොන්ඩා , හුන්දායි , ටොයෝටා ඇතුළු ප්‍රධාන සමාගම්  කිහිපයක්ම  වඩා  සාර්ථකව විකිනෙන හයිඩ්‍රජන් වහනයක් වෙළඳ පලට ඉක්මනින් එකතු කිරීම සඳහා පර්යේෂණ තරගයක නියලී සිටිති.


අනෙක් අතට හයිඩ්‍රජන් නිපදවීමට  පවා හයිඩ්‍රෝකාබන ඉන්ධන ඕනෑ  වීම , ඉන්ධන පුරවා ගත හැකි තැන් හිඟ වීම හා අධික වාහන මිල නිසා තාමත් මේ වර්ගයේ වාහන වලට ඇත්තේ ඉතා සීමිත ඉල්ලුමකි. සමහර විවේචකයන් කියන්නේ මෙකී තාක්ෂණ හා වාණිජ අඩුපාඩුකම් මගහරවා ගැනීමට තවත් දශක කීපයක් ගත වනු අතු බවයි. කෙසේ වතුදු හයිඩ්‍රජන්  යනු  මීළඟ පරපුරේ වාහන ඉන්ධනය  වනු ඇති බවට අනුමාන කරන පිරිස ඉතා විශාලය.


(මේ තීරු ලිපි සටහන මුලින්ම පළවුයේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ මන්දාකිනිය අතිරේකයේය )


කරදාසි නැති ලොවක් පැතූ සරසවි සිසුවා



Photo Courtesy- Dinamina
කරදාසිවලි තොර ලෝකය හෙවත් ජනප්‍රිය paperless  world නම් වූ සංකල්පය හෙමි හෙමින් නමුත් යතාර්ථයක් වෙමින් යනු පෙනේ. දැන් මා සේවය කරන විදේශීය රටේ මාසික බැංකු වාර්තා , ජල බිල්පත්, විදුලි බිල්පත් කිසිවක් කරදාසි කොලවල  ගෙදරට එන්නේ නැත. අප සැමගේ පැමිණීමේ ලේඛන කඩදාසිවල නැත. පරිගණකයට ඇතුළු වී පැමිණීම සටහන් කළ පසු තව ඉහලින් සිටින කළමනාකරුවන් එඅයෙක් හෝ දෙන්නෙක් විසින් එය එදාම අනුමත කල යුතුව ඇත. වැඩබිම් කාර්යාලවල රාක්ක පුරවා තිබු විශාල A 0 ප්‍රමාණයේ සැලසුම් මිටි  දක්නට නැත.පරිගණකයෙන් හෝ මොබයිල්  ෆොනයෙන් මේවායේ අවශ්‍ය කොටස් බාගත කරගැනීමේ පහසුකම් සපුරා ඇත. බොහෝ  නිවේදන හා ලිපි කටයුතු සිදිවන්නේ ඊමේල් හෝ  කෙටි පණිවිඩ ඔස්සේය. 

මිලදී ගැනීම් හා ගෙවීම් වලින් සියයට හැටක් පමණ කෙරෙන්න ඉලෙක්ට්‍රොනිකවය . පත්තර කියවන්නෝ සියයට අනුවක් පමණම  එසේ කරන්නේ අන්තර්ජාලය ඔස්සේය. මේ මා අවට සිදු  වෙමින් ඇති දේවල්ය. මීට අදාළ කතාබහ තව බොහෝ දිශානතීන් වලට රැගෙන යාමට පුළුවන්  පළල්  විෂය පථයකි . 

.එහෙත් පසුගිය වසැරේ අපේ සමාගමට සම්බන්ධ වූ මැදි විය ඉක්මවු , ප්‍රවීණ , බ්‍රිතාන්‍ය ජාතික යාන්ත්‍රික ඉන්ජ්නේරුවෙක් පරිගණක භාවිතයට අකමැති අයෙක් වීම අපේ  පුදුමයට හේතු විය. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තම පැමිණීම ඇතුලත් කිරීමට ඔහු අකමැති විය. ඔහු ඊමේල් කියවන්නේ නැත. පසුව මේ  හේතු නිසාම සමාගමෙන් ඉවත් වී යන්නට ඔහුට සිදු විය. මේ ආදී පුද්ගල ප්‍රතිරෝධයන් නිසාද , මුද්‍රිත පිටපත්වල නීත්‍යානුකුල භාවය පිලිබඳ  වැඩි විශ්වාශයක් පවත්නා නිසාද  සම්පුර්ණයෙන් කරදාසිවලින් තොර ලොවක් ගැන සිතීමට  තාමත් පුළුවන්කමක් නැත.

අවුරුදු පණහක්‌  පමණ තිස්සේ  ' කරදාසි නැති ලෝකය ' ගැන කතා බහ වැ ඩිපුරම භාවිත වුනේ පුද්ගල පරිගණක භාවිතය වැඩි වී කාර්යාල කටයුතුවලට ලිපි ද්‍රව්‍ය යොදාගැනීම අවම වීම  හෝ නැති වේම කෙරෙහිය. ඒත් මේ සියල්ල සිදු වෙම්නි පවතිද්දී පුදුමයකට මෙන් පසුගිය කාලයේදී ලෝ පුරා කරදාසි  නිෂ්පාදනයද කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත .

මානම්  කරදාසි නැති ලොවක් ගැන සිහින මැව්වේ 1991 වසරේදී සරසවි සිසුවෙක් ලෙස ඇඹිලිපිටිය කරදාසි කම්හලේදී ලද තුන් මසක  පුහුණු කාලයේදීය.

ඉන් පෙර මා දැන  සිටියේ කරදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වන්නේ පිදුරු හා කඳුකරයේ වැවෙන පයිනස් ගස් දඬු බවයි. පයිනස් වගාව කඳුකරයට හඳුනවා දුන් මුල් සමයේදී අපේ  පළාතේ  ගම්මුන් ඒවා හැඳින්වුයේ කරදාසි ගස් ලෙසයි.

ඒත් ඇඹිලිපිටියේදී මා දැනගත් පරිදි පිදුරුවල තිබෙන වැඩි  සිලිකා ප්‍රමාණය නිසා ඒවා පල්ප බවට හැරවීම ඉතා අපහසු කාරියකි . පල්ප  සාදන කුටීරවල  සිලිකා ගල්වී බිත්ති මත බැඳීම නිසා වැඩේ අවුල් වී තිබිණි.
අනෙක් අතට  පයිනස් දඬුවල තිබෙන මැලියම් වැනි රසායන ද්‍රව්‍ය ඉවත් කර සුදු කරදාසි හැදීමට විශාල මුදලක් හා පරිසරයරට බරක් වූ රසායන ද්‍රව්‍ය තොගයක් අලුතින් එකතු කරන්නට සිදු වෙයි . ඒ නිසා එවකට ඇඹිලිපිටියේ කරදාසි හදන්නට යොදා ගත් අමුද්‍රව්‍ය වුනේ පිටරටින් ආනයනය කළ පරණ කඩදාසි හා මෙරටින් සපයාගත් ඇල්බීසියා ගසුයි.

කම්හලට නුදුරින්  තනිකරම   කලුදියර ජලාශයක් තිබිණි. ඒ කරදාසි පල්ප සෝදා පිරිසිදු කිරීමෙන් පසු ඒවායෙන් ඉවත් වූ මේ ආකාරයේ  ලිග්නින්, හා කෝස්ටික් සෝඩා වැනි රසායන මුසු කරදාසි කම්හලේ අපජලයයි. මෙසේ එකතු කර ගන්නා කළු දියර   මුදා හරින්නට වුනේ  වලවේ ගඟටයි. මේ ආකාරයෙන්ම වාලච්චේන කරදාසි කම්හල නිසා ඔට්ටමාවඩි කලපුව දුෂණය වී තිබූ බවට ඒ දවස්වල නෝක්කාඩු කතා අසනට ලැබිණි. 

මේ අවුරුදු විසි පහකට කලින් තත්ත්වයයි . ඒත් අද විටත් ලෝ පුරා කරදාසි බාවිතය නිසා සිදුවන පරිසර හානිය ගැන බරපතල ලෙස කතා  බහ සිදු වෙයි. 

ගසක් රැක ගන්නට වුවමනා නම් ස්වභාවික ජාල උල්පතක් දිගටම එසේ තිබෙනු දකින්නට ඔබ කැමතිනම් ඉතා පහසුවෙන් කළ හැකි දේවල් ඔබට තිබේ. ඒ ඔබ බාවිතා කරන කාර්යාල කඩදාසියේ දෙපැත්තම පාවිච්චි කිරීමයි. අනෙක අනවශ්‍ය මුද්‍රිත පිටපත් ගන්නේ නැතිව පරිගණකය ඇසුරේම  ඒවා සුරක්ෂිතව භාවිතා කිරීමයි.

 ලංකාවෙත් බෙන්ටොනයිට් තියෙනවද ?

මීට වසර පහළොවකට පමණ පෙර මම අලුතින් ඉදිවන පාරක් බැලීමට ගියෙමි. මමා  සමග වාහනේ ගියේ ප්‍රවීණ මැටීරියල් ඉංජිනේරුවන් දෙදෙනෙකි. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගල් වැලි, සිමෙන්ති, තාර ආදී නොයෙක් ද්‍රව්‍ය හා ඒවායේ මිශ්‍රණ සම්බන්ධ ඉතා වැදගත් කාරියයක් මේ 'ද්‍රව්‍ය ඉංජිනේරුවන්' අතින් සිදු වෙයි.
ඔවුන් දෙදෙනාගේ කතා බහ  අතරේ දෙදෙනාම ඉතා උනන්දුවෙන් කතා කරමින් ගියේ ලංකාවේ බෙන්ටෝනයිට් තියෙනවද ? යන්නයි. පොඩි ළමයින් දෙදෙනෙක් රස කැවිල්ලක් ගැන කතා කරන තරමේ උතුරා යන ආශාවෙන් ඔවුන් වහරන මේ බෙන්ටෝනයිට් මැටි ඇත්තෙන්ම සිවිල් ඉන්ජිනේරු විද්‍යාවේ  අනගි සොයා ගැනීමකි.

තාමත් ලංකාවේ තියෙනවා යැයි හරියටම සොයාගෙන නැති බෙන්ටෝනයිට් මැට්ටේ ඇති විශාල ජල ප්‍රමාණයක් දරාගෙන නොකැඩී  සිටීමේ හැකියාව නිසා පොළොව තුල කෙරෙනනොයෙකුත්  කැනීම් හා  පාලම සඳහා පොලොව විද කුළුණු බැස්සවීම වැනි බොහෝ දේ සඳහා බෙන්ටෝනයිට් මැටි නැතිවම බැරිය . 

මෑතකදී පොළෝ මට්ටමට අඩි අසූවක් පමණ යටින් ඉදිවන කුඩා උමන් මගෙක ඉදිකිරීම් නිරීක්ෂණය කරන්නට ගිය මට නැවත බෙන්ටෝනයිට් ගැන ලියන්නට හිතුනේ උමගෙන්  හාරා ගන්නා සියලු පස් බෙන්ටෝනයිට් මිශ්‍ර ජලයේ දියකර පොලොව මතුපිටට එවන්නටත් ඒ මිශ්‍රණයෙන් අනවශ්‍ය පස් පෙරා ඉවත්කරගෙන නැවත අලුත් පස් රැගෙන ඒමට බෙන්ටෝනයිට් දියරය යොමුකරන ක්‍රියාවලිය ගැන කල්පනා කළ විටය.
බෙන්ටෝනයිට් ගැනත් උමන් හැරීමේ අළුත් තාක්ෂණයත් ගැනත් මීළඟ සටහනකින් ලියන්නට සිතා  ගතිමි.  බටහිර ඇමරිකාවේ බෙන්ටන් කලාපයේ බහුලව තිබෙන නිසා ඒ නම ලැබුනත් බෙන්ටෝනයිට් මැට්ටේ රසායනික නම මොන්ට්මොරිලොනයිට්ය , එය සිලිකන් අඩංගු  සිලිකේටයකි.