Search This Blog

Sunday 2 December 2018

පෝන්ටුන් හා තවත් කතා - බහීගේ දවස් හත 3



2018 නොවැම්බර් 30 - පොනටුන් හා සමාජ වගකීම 
පොන්ටුන් ගැන යමක් ලියන්නට මට හිතුනේ දියවන්නාවේ කිඹුලා ඇල හන්දියට යාබද නිසල දිය පිරි පොකුණක කවුදෝ ඉදිකළ යකඩ ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් පසු එහි  පසුබිම් කතාව ගැන විපරම් කළාට පසුවයි. කෝට්ටේ පාරෙන් යනෙන ඕනෑම අයෙකුට අයස්කාන්ත දසුනක් වූ මේ නිසංසල පරිසරයට  ආගන්තුක වූ මේ ඉදිකිරීම ගැන මමනම් මුල හිටන්ම හිටියේ නොමනාපෙන්. කොටින්ම ඔවිනිත්  මාත් උදේට ඔය හරියෙන් ඇවිදින  එකත්  නතර කළා .

කොහොම උනත්ව මේ හදාපු යකඩ ගොඩනැගිල්ල ගිලා බැස්සේ ඇයිදැයි හොයා බලද්දී දැන ගන්නට ලැබුනේ එය මුලින් ඉදි  කරලා තිබ්බේ වතුරේ පාවෙන විශ්ෂ හැඩයේ ආධාරක හතරක් උඩ බවයි   මේවා පොන්ටුන් නමින් හැඳින්වෙනවා. අපට සරසවියේදී පළමු අවුරුද්දේ පොන්ටුන් ගැන ඉගැන්වෙනවා . ඒ නිසාම බැච් කීපයකම පොන්ටූන්ලා හිටියා. අර කොන්ක්‍රීට් බෝට්ටුව වගේ මේවා වතුරේ ගිලෙන්නේ නැති බව අපේ තාත්තාත් දන්නවා .  ජලයේ පාවෙන පොන්ටුන් මත ඉදි වූ විශාල වැඩබිම් හා තාවකාලික ගොඩනැගිලි තිබෙනවා. ඉස්සර ඉංජිනේරු සංස්ථාවට පොන්ටුන් කීපයක් තිබ්බා. ඒ කැළණි ගඟේ වැලි ගොඩ දැමීමට.

ඉතින් ඉහත කී ඉදිකිරීමෙන් පසු පොන්ටූන් එකක් හෝ දෙකක් රොන් මඩේ හිර වුනාලු. ඒ නිසා  බලාපොරොත්තු වූ විදිහේ සමබරතාවයක් පවත්වා ගන්න බැරි වීමෙන්  යකඩ මඩුව  ටික ටික ගිලා බහින්න ඇති . ඊළඟ විසඳුම වුනේ ටොන් බර  ගානක් උස්සන්න පුළුවන් තඩි දොඹකරයක් විසින්  මඩුව පැත්තකින් උස්සා තබා  එහි යෝජිත පාදමට කළුගල් පිරවීම . මේක උස්සන දවසේ මම එතනින් බලාගෙන ගියා අර රාළහාමි ලිඳ උස්සපු දවසේ වගේ අබ්බගයක් වෙයිද කියලා . ඒත් නෑ . දැන්නම් ගල්ගොඩ උඩ ශේප් එකේ වැඩ ඉන්නවා. මේ ගැන වැඩි විස්තර දන්නේ නැතිමුත් මේ කාර්යය එක්තරා පුද්ගලික සමාගමක CSR ව්‍යාපෘතියක්ලු.

මේ වගේ  Corporate Social Responsibility ව්‍යාපෘති ව්‍යාපාරික සමාගම් විසින් සිය සමාජ වගකීම ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කරනවා. බොහෝ සමාගම් මේ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් යොදවනවා. ඒත් මොන තරම් හොඳ හිතින් කළත් ඉහත  කී ආකාරයේ සමාජ සත්කාරනම් නැතුවට කමකුත්  නෑ .

2018 නොවැම්බර් 26   - අයිස් සමුළුව කොළඹදී 

පසුගිය 19 වැනිදා  මම අයිස් ශ්‍රී ලංකා සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වුනා මිතුරු ඉන්ජිනේරුවෙකුගේ ඇරයුමෙන්.  අයිස් යනුවෙන්  ශබ්ද කරාට ඒක ICE ( Institution of Civil Engineers) . අවුරුදු දෙසීයක් පරණ ඉංජිනේරු ආයතනයක්.  ජාත්‍යන්තරව පිළිගත්  බොහෝ වෘත්තීය ආයතනවල වගේම ICE මුලස්ථානය තියෙන්නෙත් ලංඩන් නුවර. එංගලන්තය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් හොයන්නේ විවිධ නම්වලින් යුත් රාජකීය  ආයතනවල ලෝ පුරා විසිරිච්ච සාමාජිකයන්ගෙන් අය කරන වාර්ෂික ගාස්තුවෙන්. මෙය හිතනවාට වඩා විශාල අගයක්. ලංකාවෙනුත් සෑහෙන විශාල මුදලක් රටින් පිටට ඇදීයනවා මේ වෙනුවෙන්. BCS, RICS, CIHT වැනි ආයතන දහස් ගණනක් තිබෙනවා . මේ ගැන වාදයක් අද  දවල් කෑම පැයේදී  මතුඋනා.

"මමනම් ශත පහක් ගෙවන්නේ නෑ ඔය ගසා කන කන ආයතනවලට"  අයෙක් කීවා.

ඒත් මගෙනම් තිබුනේ වෙනස් මතයක් . මේවා සල්ලි හම්බ කරන ආයතන විය හැකියි . ඒත් වෘත්තීය පිළිගැනීමක වටිනාකම පවත්වා ගැනීමට මින් සමහර ආයතන  නිරන්තරව උත්සහ කරනවා. ඒ නිසා විශ්වාසනීයත්වය  හා තත්ත්වය බාල වන්නේ හරිම කලාතුරකින්  . ඒ නිසාම විදේශ රැකියාවක් සඳහා  පිටත් වෙනවානම් ඊට පෙර ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම වැදගත් . මැද පෙරදිගදීනම් එවැනි විශේෂිත සුදුසුකම් හා සාමාජිකත්ව තිබෙනවානම් තරමක විශාල තනතුරකට හා වැඩි පඩියකට යන්නට පුළුවන්.  ඒත් මේ ගැන පිළිගත හැකි දැනුවත් කිරීමක් කාගේ අතින්වත් කෙරෙන්නේ නෑ .

මැද පෙරදිග රස්සා වලට  සුදුසුකම් ලැබූ වෘත්තිකයන් මිස  නුපුහුණු ශ්‍රමිකයන් යැවීමෙන් රටටනම් කිසිම සෙතක් නෑ . පිලිපීනය මේ වෙනවිට බොහෝ රටවලට ගෘහ සේවකයන් යවන්නේ නෑ .ඒ වෙනුවට  ඔවුන් පුහුණු ශ්‍රමිකයන් හෝ එක්තරා වැටුප් මටමකින් උඩ රැකියා සඳහා පමණයි සේවකයන් යවන්නේ.
කොටින්ම කියනවානම් නුපුහුණු සේවකයන් තිස් දෙනෙක්ගේ පඩිය එක ඉන්ජිනේරුවෙකුට  ගෙවන රටකට ඉංජිනේරුවන් යැවීමට උත්සහ නොකර  නුපුහුණු සේවකයන් යැවීම තේරුමක් නෑ . අනිත් අතට ශ්‍රමිකයන් පැත්තෙන් ඔවුන්ට දැන් යනවා වගේ දෙතුන්ගුණයක පඩියකට යන්නට හැකිනම් ඔහුගේ ගමන මොන තරම් අර්ථ සම්පන්න වෙනවාද .

අයියෝ මං ඉතින් ලියන්නට මුල පිරුවේ අයිස් සමාගමේ වාර්ෂික සමුළුව ගැන නේන්නම්. ඒ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්තුවේ ප්‍රවීණ ඉංජිනේරුවරියක් වන ලින්ඩා මිලර් . ඇය මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතියක ඉදිකිරීම් අධ්‍යක්ෂක. ඇගේ කතා බහේ මාතෘකාව ප්‍රවාහන යටිතල පහසුකම් හා සංකීර්ණ මහා ව්‍යාපෘති වලදී විවිධ  ක්ෂේත්‍ර අතර දැනුමෙන් ගනුදෙනු කරන්නේ කොහොමද යන්නයි. මේ විෂයයම මගේ රස්සාවද වන නිසා එකී මාතෘකාව යටතේම විශේෂ  ලිපියක් සිලිකන් වැල්ලට් ලියන්න බලාපොරොත්තු වෙනවා .

අනෙක ඇය කළේ ජාත්‍යන්තර බ්රුනෙල් (Brunel) අනුස්මරණ දේශනා මාලාවේ එකක්. කවුද මේ බ්රුනෙල්  කියන්නේ ?

Isambard Kingdam Brunel  19 වන සිය වසේ ලොව බිහි වූ  විශිෂ්ටතම ඉංජිනේරුවකු  ලෙස සැලකෙනවා. 1906 එංගලන්තයේදී උපන් ඔහු ගැන වැඩිමනත් විස්තරද ඉදිරි ලිපියකින් කතා කරනවා . 


සබැඳී- Links

බහීගේ දවස් හත 1 
බහීගේ දවස් හත 2





No comments:

Post a Comment